Adaderana TV
යුක්රේන-රුසියානු අර්බුදය
Related Images:
Passikudah Resort Development
Related Images:
සංචාරකයන් රුවල් නැවෙන් මිරිස්සේ සිට පෝර්ට් සිටියට..
සංචාරකයන් රුවල් නැවෙන් මිරිස්සේ සිට පෝර්ට් සිටියට..
ලෝකයේ ඇති ස්වාභාව සෞන්දර්ය අප කෙතෙකුත් දසුන්වලින් නැරඹුවද එහි ඇති විවිධත්වය සජීවී අත්දැකීමක් කර ගැනීමට නම් අප සංචාරය කළ යුතුමය. අද එන්නත්කරණය සමඟින් රට සාමාන්‍යකරණයට යොමුවෙමින් පවතින මේ මොහොතේ කොවිඩ් වසංගතය ලෝකයෙන් තුරන් වන තුරැ නොසිට කොවිඩ් සමඟම සංචාරක කර්මාන්තය ගොඩනගා ගැනීමට අප නිරතුරුව කටයුතු කළ යුතුය.
එනිසාම අපේ සංචාරක කර්මාන්තය අලුත් ක්රමෝපායන් හා අත්හදා බැලීම් තුලින් ඉදිරියටම යායුතු බව මාගේ විශ්වාසයයි. මන්ද අපරට මෙන් සංචාරක කර්මාන්තය ආර්ථිකයේ ප්‍රධානතම ආදයම් මාර්ගය කර ගන්නා රටවල් නොබියව අලුත්ම අත්දැකීම් සංචාරකයාට ලබා දෙමින් ඉදිරියට පියවර තැබීම නිරතුරුවම සිදුකරනවා ඇත. නොයෙකුත් හේතූන් මත අප රට මදක් පසුපසින් කල්ගත වූ පසු එම මාර්ග වලට එන්න උත්සාහ දරනවා. එය අපට ඉතා අවාසි සහගත තත්වයක්. ලෝක වසංගත තත්වය හමුවේ එවැනි අලුත් අත්දැකීම් ගැන සිතීමට හෝ අකමැති අවස්ථාවක දී උපායමාර්ගයක් ලෙස මා විසින් “සේල්ලංකා” රුවල් නැව් ආයතනයට යෝජනා කලේ නියමු ව්‍යාපෘතියක් ලෙස විදේශීය සංචාරකයන් සුන්දර මිරිස්ස වෙරළ තීරයේ සිට ලංකාවේ අනාගත ප්රබලතම ආර්ථික ආකර්ෂණ ස්ථානය වන පෝර්ට් සිටිය දක්වා සංචාරකයන් රුවල් නැවෙන් රැගෙන එමටයි.
එදා Lonely Planet නම් සඟරාව විසින් ශ්‍රී ලංකාව සංචාරයට සුදුසුම රට ලෙසද, නම් කෙරැණු අතර ස්වාභාවික සම්පත් ප්‍රයෝජනයට ගනිමින් මනා ලෙස කරන ලද මානව නිර්මාණ හැකියාවන් එකළ ජාත්‍යන්තරය පවා පැසසුමට ලක් කරන ලදී. එවැනි ස්වභාවිකව භූ දර්ශන සහිත නිවර්තන වෙරළ තීරයේ ඇති ශ්‍රී ලංකාවේ හොඳම රුවල් යාත්‍රාව ලෙස හැදින්විය හැකි සාගර දියමන්ති (Ocean Diamond) නමැති නිල් සාගරයේ නවෝත්පාදනය යාත්‍රාව සෙල්ලංකා ආයතනය විසින් මා හට ලබාදුන්නේ, ලාංකික සංචාරක කර්මාන්තය ගොඩගන්න ඔහුන්ට ඇති උවමනාව නිසාමයි. සුඛෝපභෝගී තරු පහේ නවාතැන් පහසුකම් සහ සුවිශේෂී ප්‍රමිතියකින් යුත් ශ්‍රී ලංකාවේම නිෂ්පාදන කරන ලද ඔවුන්ගේ දෙමහල් සාගර දියමන්ති රුවල් යාත්‍රාව උපයෝගී කර ගෙන පසුගිය ජනවාරි 31 සඳුදා සවස මිරිස්ස ධීවර වරායෙන් එම ගමන අප ආරම්භ කළේය.
එහි පළමු කණ්ඩායම ලෙස රුසියානු, යුක්රේනියානු, බල්ගේරියානු යන රටවල් වල මෙරට නේවාසික නියෝජිතයන් හා සංචාරකයන් පිරිසක් ද මෙරටට අලුතින් ගුවන් ගමන් ආරම්භ කල බල්ගේරියානු ගුවන් සමාගමේ නියෝජිත කණ්ඩයමක් ද සහභාගි කර ගැනීමට කටයුතු කළේය. මොකද ඔහුන්ගේ අත්දැකීම් හා උපදෙස් මෙහිදී ඉතා වටිනා බව මා අත්දැකීමෙන් දන්නා බැවිනි. මිරිස්ස දියඹේ නැංගුරම්ලා තිබූ සාගර දියමන්ති රුවල් නැවට සංචාරකයන් ගොඩ වූ මොහොතේ සිට යාත්‍රාවේ කාර්යමණ්ඩලය දැක්වූ සහයෝගය සම්බන්ධව සටහනක් තැබිය යුතුමය. එම රුවල් යාත්‍රාව තුල සංචාරකයන් 24 දෙනෙකුට ඉතා සුවපහසු සුපිරි තරු පන්තියේ නිදන කාමර 10ක් මෙන්ම නවීනතම අංගෝපාංගයන් ගෙන් සමන්විත මුළුතැන්ගෙයක් හා භෝජනාගාරයකින් සමන්විත වෙනවා. යාත්‍රාව තුල සේවා සපයන සේවක මඩුල්ල මගීන්ගේ පහසුකම් පිළිබඳ වගේම යාත්‍රාව තුල අනුගමනය කලයුතු ක්‍රියා පටිපාටිය ඉතා හොඳින් පළමුව පහදා දුන්නේය.
මෙම යාත්‍රාව ගමන් කිරීමේ දී රාත්‍රිය ගත කරන මුහුදේදී ස්නානය කිරීමට උණවටුනට සමීපයේ ජංගල් බීච් නම් රුසියානු සංචාරකයන් අතර ජනප්‍රිය ස්ථානය තෝරා ගත්තේය. එම ස්ථානයේදී රාත්‍රි කාලයේ මුහුදට බැස විනෝද වීමට සංචාරකයන් හට අවස්ථාව ලබා දුන්නේය. එසේම අපට Ocean Diamond යාත්‍රාවේ ජීවිතාරක්ෂක කණඩායම ඉතා උනන්දුවෙන් සංචාරකයන්ගේ ආරක්ෂාව පිලිබඳව මෙන්ම ගමනාන්තය දක්වාම රසවත් ආහාර පානාදියෙන් සංචාරකයන් පිනවීමට යාත්‍රාවේ සූපවේදින් ඇතුළු භෝජනාගාර සේවක මණ්ඩලය උනන්දු වූ බව මෙහිදී විශේෂයෙන් සඳහන් කලයුතුය.
පසුදා උදෑසන 6 ට පමණ කොළඹ බලා යාත්‍රා කිරීම ආරම්භ කල පසු ශ්‍රී ලාංකීය මුහුදු තීරයේ ප්‍රභලම ස්වභාවික ආකර්ෂණය ලෙස නම් කළ හැකි නිල් තල්මසුන් හා ඩොල්ෆින් මාලු සමූහ කිහිපයක්ම දැකබලා ගැනීමට ලැබීම නිසා රුවල් නැවේ චාරිකාව අංගසම්පූර්ණ කලේ අප කාගේත් වාසනාවටය. සංචාරකයන් ඉතා ඕනෑකමින් බලාපොරොත්තු වූ ඒ හමුවීමේදී, සතුන්ට මෙන්ම සංචාරකයන් හටද අපහසුවක් නොවන ලෙස යාත්‍රාව හැසිරවූ කපිතාන්වරයා ඉංජිනේරුවරයා ඇතුළු කාර්යමණ්ඩලය ඇගයීම මගේ යුතුකමකි.
එදා තිස් වසරක යුද්ධය අවසානයේ අප රටට සංචාරක ක්ෂේත්රයේ වසන්නය උදා විය. ලෝකයේ සංචාරය කළ හැකි රටවල් අතර ඉහළම ස්ථානය පවා හිමිකර ගැනීමට අප සමත් විය. එසේ 2019 පාස්කු ප්‍රහාර සිදූවන තෙක්ම ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම ඉතා ඉහළ මට්ටමක පැවතියේ අප රටේහි ආර්ථිකයට විශාල ශක්තියක් ලබා දෙමිනි. එහෙත් පාස්කු ප්‍රහාරයෙන් සංචාරක කර්මාන්තයේ අභාග්‍ය සම්පන්න කාලය උදා වූ අතර කබලෙන් ලිපට වැටුණේ 2020 වසරේ දී අවසානයක් නොමැති කොවිඩ් 19 වසංගතය මුළු මහත් ලෝකයටම එල්ල කරන ලද බලපෑම සමගින්ය. අපේ රටේ වසංගතයෙන් බලපෑමට ලක්වූ ක්ෂේත්‍ර අතරින් සංචාරක ක්ෂේත්රය ප්රමුඛ ස්ථානයක් ගනී. එතැන් සිට මේ දක්වා රට මුහුණ දෙමින් සිටින ආර්ථික කඩා වැටීම් රැසකටම හේතුව පවතින වසංගත තත්වය බව නොරහසකි. ඒ අතර සංචාරක බලධාරීන්ගේ සමහර අත්තනෝමතික තීරණ ද බලපෑ බවද නොකියාම බැරිය. එසේ මෙතෙක් කලක් නොවූ විරෑ ලෙස බිඳවැටීමට හේතු වූ කොරෝනා වසංගතය, සංචාරක ක්ෂේත්රයේ බොහෝ පිරිසකගේ රැකියා අවස්ථා පවා අහිමි කිරීමට සමත් විය.
පවතින තත්තවය එසේ වුවත්, සංචාරක ක්ෂේත්රය නැවත නඟාසිටුවමින් එම ක්‍රියාවලිය යළි සක්‍රීය කිරීමට මා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලිඛිතව කල යෝජනාවට එතුමා ලබාදුන් ධනාත්මක තීරණය මත “සංචාරක ක්ෂේත්රයෙහි නියුතුවූවන්ගේ ජීවනෝපාය ආරක්ෂා කිරීම උදෙසා සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කිරීම” යන මැයෙන් අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අංක PMO/CM/27/2020 දරණ ලද ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයේ ප්‍රතිපලයක් ලෙස සංචාරක කර්මාන්තයෙහි පුනර්ජීවනය උදෙසා උපායමාර්ගික කළමනාකරණය පිළිබඳ පූර්ණ බලැති ක්‍රියාකාරී කමිටුවේ උපදෙස් පරිදි “සංචාරක බුබුල” සංකල්පය යටතේ යුක්රේනියාව, කසාක්ස්තානය හා රුසියාවේ සිට පසුගිය 2020 දෙසැම්බර් 28 දා, හම්බන්තොට ජාත්‍යන්තර ගුවන් තොටුපල සංචාරකයින් සඳහා විවෘත කරන ලදී. එසේ සංචාරක බුබුලේ සාර්ථකත්වය සනාථ කිරීම නිසාම, 2021 ජනවාරි 21 දින කටුනායක ගුවන් තොටුපලට මාස 9 කට පසු නැවතත් සංචාරකයන්ට විවෘත කල බව ද පිළිගත යුතුය.
රුසියාවේ හිටපු තානාපතිවරයා ලෙස පසුගිය වසර මුලූල්ලේ මෙරටට රුසියාවේ, යුක්රේනියාවේ හා කසාක්ස්තානයේ සිට සංචාරකයින් විශාල පිරිසක් රැගෙන ඒමට මා මූලිකත්වය ගෙන වැඩකළා. එසේම එදා තානාපතිවරයෙකු ලෙස මගේ යුතුකම ඉටු කරමින් ලංකාවට රුසියානුවන්ගේ පැමිණීම 28 ගුණයකින් වැඩි කිරීමට මා සමත් වූවෙමි. ඒ සියලු දේවල්වල සමස්ථ ප්‍රතිපලයක් ලෙස අද බහුතරයක් රුසියානු, යුක්රේනියානු, කසාක්ස්තානු සංචාරකයින් මෙරටට පැමිණි ඇත. එය සබැ සංචාරකයන්ගේ පැමිණීමේ සංඛ්‍යාලේඛන අනුව 30% ආසන්න පිරිසකි. එම ප්‍රමාණය වැඩිකර ගැනීමට මා විසින් රජයට අවධාරණයෙන් සඳහන් කළ යුතු විශේෂ කරුණක් තිබේ.
එදා 2021 ඔක්තෝබර් දක්වා සංචාරකයන් ලංකාවට නොපැමිණිමට ප්‍රධාන හේතුව වුයේ සංචාරක මණ්ඩලය විසින් පනවා තිබු සංචාරකයන්ට අහිතකර නියාමන බව ඉතාමත් වගකීමෙන් කිව යුතුය. ඒ අතර තවදුරටත් රජයේ විශේෂ අවදානයට යොමුකර යුත්තේ “කොවිඩ් 19 එන්නත් ලබා නොගත් සංචාරකයන් ට නිරෝධායන කාලය දින 07 ක් “Level – 1” හෝටලයක් තුල සිටීම අනිවාර්ය කිරීම” බව ගෞරවයෙන් පෙන්වාදීම අපගේ යුතුකමකි. තවදුරටත් ලංකාවේ “Level – 1” හෝටල් අද නැති තරම්ය. එසේම සංචාරක මණ්ඩලය එම හෝටල්වලට ලබාදුන් “Level – 1” සහතිකය ද පසුගිය දෙසැම්බර් මාසයේදී කාලය අවසන් වී ඇති නමුත් එම කාලය දීර්ඝ කිරීමට ඔහුන්ට උනන්දුවක් නොමැති බවද බලධාරීන් හට පෙන්වා දිය යුතුය. එසේම අද ලංකාවට වැඩියෙන්ම සංචාරකයන් පැමිණෙන්නේ රුසියානු සමුහාණ්ඩුවෙන් බව 2022 ජනවාරි මාසයේ සංචාරකයන් මෙරටට පැමිණී දත්ත අනුව මනාවට පෙන්නුම් කරයි. එසේම එරටෙහි එන්නත් ලබා නොගත් අය 60% කට ආසන්නය. එබැවින් “සැබෑ සංචාරකයන්” සදහා ලංකාවට පැමිණීමට තවදුරටත් බාධා කරන “එන්නත් ලබා නොගත් සංචාරකයන් සදහා නිරෝධායනය කාලය” වහාම ඉවත්කල යුතුය. ලෝකයේ රටවල් අතර සංචාරක කර්මාන්තය ආර්ථිකයේ ප්‍රධානතම ආදයම්මාර්ගයක් කරගන්නා රටවල් ලෙස තුර්කි රාජ්‍ය, ඊජිප්තුව, මාලදිවයින, ඩොමිනිකන් ජනරජය මෙන්ම සංචාරකයන් අතර ප්‍රසිද්ධ බහුතරයක් රටවල් එසේම සිදු කර ඇත. ඒ පිළිබඳ බලධාරීන් දැණුවත් කර ඇති නමුත් සංචාරක කර්මාන්තයේ අනාගතය ගැන සිතා හෝ මෙවන් අහිතකර නියාමන ඉවත්කිරීමට අප රජය මෙතෙක් කිසිදු පියවරක් නොගැනීමට හේතුව, සංචාරක ක්ෂේත්‍ර පිළිබද දැනුමක් නොමැති, තමන්ගේ පුද්ගලික ව්‍යපෘති වලට පමණක් අනුග්‍රහය දක්වන, මෙවන් කයිවාරුකරුවන් පත්කිරීම බවද අපේ රටෙහි නායකයාට මෙහිදී නොකියාම බැරි කරුණකි.
එසේ නමුත් අද සංචාරක බලධාරීන් කයිවාරු ගසන ආකාරයට පසුගිය මාස කිහිපය තුල රටට සංචාරකයන් විශාල ප්‍රමාණයක් පැමිණ ඇත. ඒ ප්‍රමාණය 2019 සාපේක්ෂව 34% ක් වන අතර අප දන්නා විදියට ද්විත්ව පුරවැසිභාවය හිමි ශ්‍රීලාංකිකයන් විශාල පිරිසක් නිවාඩු ගතකිරීමට හා නෑදෑයන් දැකබලා ගැනීමට, කොරෝනා නීතිරීති ලිහිල් වීම හා නිරෝධාන කාලය ඉවත්කිරීම නිසා වසංගතයෙන් පසු මෙරටට පැමිණ ඇත. එවැනි වාතාවරණයක් තුල රුසියානු යුක්රේනියානු වැනි සබැ සංචාරකයන්ගේ පැමිණීමේ දත්ත උපයෝගී කරගෙන තම නොහැකියාව වසාගැනීමට ඇය කටයුතු කරමින් සිටින බව රටෙහි නායකයන්ට නොවැටහීම සංචාරක කර්මාන්තයේ නියතු වූවන්ගේ පමණක් නොව රටවැසියාගේ ද අභාග්‍යකි.
අද අසල්වැසි මාලදිවයින රාජ්‍යයේ සංචාරක කර්මාන්තය අත්කරගෙන ඇති සාර්ථකත්වය අපට යථාර්ථය තේරුම් ගැනීමට කදිම නිදසුනකි. පසුගිය වසර තුල නිරෝධනය සදහා ඉන්දියානුවන් පකිස්ථානුවන් මෙන්ම නේපාල, බංගලාදේශ, ඉන්දුනීසියානු වැනි රටවල් වලින් පැමිණි ශ්‍රමිකයන් ඇතුළුව ශ්‍රී ලංකාව පැමිණි සංචාරකයන්ගේ මුළු එකතුව 194,495 වැනි ඉතා කුඩා ප්රමාණයකි. එසේ නමුත් එම කාලපරිච්ඡේදයේ දී මාලදිවයිනට සබැ සංචාරකයන් 1,321,932 පැමිණ ඇත. එනම් මාලදිවයිනට අපට වඩා 7 ගුණයක් සංචාරකයන් පැමිණ ඇත. එසේම මෙම වසරේ ජනවාරි මාසයේ මාලදිවයිනට සංචාරකයන් 130,000 වැඩි ප්‍රමාණයක් පැමිණ ඇති නමුත් මෙම ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සමස්ථ සංචාරක පිරිස 82,327 ආසන්න පිරිසකි. ඒ අතරින් රුසියානු, යුක්රේනියානු හා කසාක්ස්තානු ඇතුළුව බටහිර යුරෝපා සංචාරකයන්ගේ පැමිණිම සමස්ථ සංචාරකයන් ගෙන් 35% කි.
තවදුරටත් මුළුරටම රවටමින්, කිසිදු සංචාරකක් නොපැමිණෙන වසංගතය සමයේ පවා මෙම බලධාරීන් සදහන් කරේ High End Tourism ප්‍රවර්ධනය කල යුතු බවයි. ඒ සදහා රටට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් තිබේදැයි විමසීමක් සිදුකල යුතු අතර ඔහුන් විසින් එම පහසුකම් වැඩිදියුණු කිරීමට පසුගිය අවුරුදු දෙකක් පුරාවට ගත් ක්‍රියාමාර්ග මොනවාද කියා විමසීම කාලෝචිතය. ඒ අතර අද පුද්ගලික අංශය රජයේ අනුග්‍රහය නොමැතිව වුවද ඒ සදහා නොයෙක් උත්සාහයන් දරමින් සිටි. ඊට කදිම නිදසුනක් ලෙස සේල්ලංකා ආයතනය ඔහුන්ගේ රුවල් යාත්‍රාව භාවිතා කරමින් විදේශීය සංචාරකයන් සුන්දර මිරිස්ස වෙරළ තීරයේ සිට පෝර්ට් සිටිය දක්වා රැගෙන ඒම පෙන්වාදෙන අතර සංචාරක කර්මාන්තය පිළිබඳ ප්‍රයෝගික අවබෝධයක් නොමැති සංචාරක මණ්ඩලය මෙන්ම සංචාරක අමාත්‍යංශයේ ප්‍රධානීන්ගේ අරමුණ වී ඇත්තේ ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ පොරොන්දුව ඉෂ්ට කිරීමට සංචාරකයන් මිලියන දහයක් මෙරටට ගෙන්වා ගැනීමය.
එදා මහින්ද ජනධිපති යුගයේ ආරම්භ කර, පසුගිය දසකය පුරා පාසිකුඩා සංචාරක පුරවරයේ හෝටල්වල ඉදිකර ඇති කාමර 654 ක්ම විදේශීය සංචාරකයන් නොමැතිව පීඩාවට පත්ව ඇති බව අද රජයට වැටහීමක් නැතිවීමට හේතුව ද මෙවන් බලධාරීන් බව කිව යුතුය. එහිදී විශේෂයෙන් කිවයුත්තේ නැගෙනහිර පළාතේ දමිළ තරුණ තරුණියන් මෙන්ම සිංහල තරුණ තරුණියන් අතරින් 60% ශ්රමදායකත්වයක් මෙම හෝටල් ජාති ආගම් භේදයකින් තොරව ලබාගත යුතුව තිබුණු නිසාම අද පාසිකුඩා කල්කුඩා ගම්වැසියන්ගෙන් 80% ක්ම හෝටල්වල හා සංචාරක කර්මාන්තයේ නිරතව සිටිය අයුරු දැකිය හැක. එහෙත් 2019 පාස්කු ප්‍රහාරයෙන් පසු කොරෝනා වසංගතයක් නිසා අසරණ වූ ඔහුන් ට පසුගිය ජනවාරි 30 වෙනිදා මාගේ මූලිකත්වයෙන් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපල හරහා පාසිකුඩා මුහුදු තිරයේ තරුපහේ කාමර 126 යුක්ත අමායා බීච් හෝටලයට (Amaya Beach) බල්ගේරියානු හා අල්බේනියානු සංචාරකයන් 183 දෙනෙක් රැගෙන එමෙන් අද ගම්මානයට වසර තුනකට පසු යම්කිසි ආදායම් ලැබීම නිසා එහි ගම්වාසීන් හට අනාගතය ගැන විශ්වාසය ඉතිරිව ඇත.
අද මා මෙම සටහන අවසන් කරන්නේ මෙවැනි අලුත් අත්දැකීම් තුලින් වෙනස්වීමට වෙනස් කිර්‍රිමට ඇති බොහෝ දේ සිදුකරමින් අප දරන ප්රයත්නයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය දෙගුණ තෙගුණ කර ගැනීමට දරන උත්සාහය හරහා අපගේ මව්බිමෙහි අනාගත ආර්ථිකමය ශක්තිය වැඩිකර දීමට ඇති හැකියාව ගැන අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි.
– උදයාංග වීරතුංග – රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති.
Related Images:
Araliya Beach Resor
Related Images:
Aliya Resort & Spa
Related Images:
ලංකාවේ හැඩ බලන්න නැගෙනහිර යුරෝපයෙන්..
නැගෙනහිර යුරෝපානු සංචාරකයන් රැගෙන GullivAir සහ LOT ගුවන්යානා ලංකාවට..
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) නිකුත්කළ නිවේදනයක් මඟින් පවසන්නේ, සංචාරක තහනම හරහා “ඔමික්‍රෝන් ප්‍රභේදය” ගෝලීය පැතිරීම වැලැක්විය නොහැකි බව යි. අද කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා ජනතාවගේ ජීවිත රැකගැනීම සඳහා නව සෞඛ්‍ය නිර්දේශ අත්‍යාවශ්‍ය වන්නාක් මෙන්ම, රටක ජීවනාලිය වන ආර්ථිකය රැක ගැනීමද අත්‍යවශ්‍යම කරුණකි. එසේම රටෙහි නායකයන් පවසන්නේ අපව යළි ප්‍රකෘති තත්ත්වයට පත් කොට ඉතා ඉක්මනින් විදේශ විනිමය රටට ලබා ගත හැකි ආදායම් මාර්ගය ලෙස ඉතිරිව ඇත්තේ සංචාරක කර්මාන්තය බවයි. එය එදා සාමාන්‍යයෙන් වසරකට රටට ඩොලර් බිලියන 4.4 ක ආදායමක් ලබා දෙන්නට සමත් වූවකි. විසිපන් ලක්ෂයකට වැඩි පිරිසකට ඍජුව හෝ වක්‍රව ජීවන මාර්ගයක් වූවකි. එහෙත් මෙම වසරේ නොවැම්බර් අවසානයේදී රටට පැමිණි ඇති සංචාරකයන් ප්‍රමාණය 99,464 ක් වැනි ඉතා සුළු පිරිසකි. ඊට ප්‍රධාන හේතුව බලධාරීන්ගේ සංචාරක නියාමන රෙගුලාසි මෙන්ම අසාර්ථක කලමනාකරණය බව දැනටමත් සනාථ කර අවසන්. එසේ නමුත් ඊට සුදුසු දක්ෂ නිලධාරීන් පත්කර තිබේදැයි පවා නොසිතීමින්, එම ආදායම ඩොලර් බිලියන 10 දක්වා වැඩි කර ලංකාවේ විශාලතම ව්‍යාපාර ක්ෂේත්රය බවට පත් කරන්නට වත්මන් ජනපතිතුමාගේ තවත් අධිෂ්ඨානයකි.
නැගෙනහිර යුරෝපා රටක් ලෙස පෝලන්ත රාජ්‍යයේ අගනුවර වෝර්සෝ සිට ශ්‍රීලංකාවේ කටුනායක ගුවන් තොටුපල කරා සතියකට සෘජු ගුවන් ගමන් වාර 03 ක් පැමිණීම මෙරටට සංචාරකයින්ගේ පැමිණීම වැඩිවීමට හේතුවක් වනු ඇතයි අප බලාපොරොත්තු වනවා. එමෙන්ම ශ්‍රී ලාංකිකයින්ට ද පෝලන්තයට හෝ වෙනත් ඕනෑම යුරෝපා රටකට සුව පහසුවෙන් යාමට ගමනාන්ත රැසක් ඇති ලොට් පෝලිෂ් ගුවන් සේවය අවස්ථාව උදාකර තිබෙනවා. ශීත සෘතුවත් සමග ඇරඹුණු මෙම සංචාරක සමයේ දී LOT ගුවන් සේවය, 2022 මාර්තු දක්වා සතියකට සෘජු ගුවන් ගමන් වාර 03 ක් වෝර්සෝ සිට කොළඹ දක්වා පියාසර කිරීමට නියමිතව ඇත. ඒ සදහා ලොට් පෝලිෂ් තම ගුවන් සේවය බෝයින් 787 ඩ්‍රීම් ලයිනර් වැනි පුළුල් බඳ සහිත ගුවන් යානා භාවිතයට ගනු ලබයි.
පසුගිය 07 වෙනිදා කටුනායක දී ගුවන් තොටුපල කාර්යමණ්ඩලය විසින් උණුසුම්ව පිළිගත් මොහොතේ ලැබූ ආගන්තුක සත්කාරය පිලිබඳ අත්දැකීම් සංචාරකයන් ට කිසිදිනක අමතක නොවනු ඇතයි අප බලාපොරත්තු වෙනවා. එවගේම ලංකාව සමඟ සම්බන්ධතාවය තවදුරටත් වැඩිදියුණු කිරීමට සහ දේශීය සංචාරක හා ආගන්තුක සත්කාර අංශයට පිළිගැනීමක් ලබා දීමට සහය වීම පිළිබඳව සමස්ත සංචාරක ක්ෂේත්රයම කොරෝනා වසංගතය නොසළකා ලබාදෙන සහයෝගයට විශේෂයෙන් LOT පෝලන්ත කණ්ඩායමට අපි ස්තූතිවන්ත වෙමු. එසේම මෙම ගුවන්යානාවේ වැඩි ආසන ප්‍රමාණයක් දැනටමත් වෙන්කර ඇති පෝලන්ත රාජ්‍යයේ “Itaka” සහ “Rainbow” යන සංචාරක සමාගම් දෙක ලබන ජනවාරි සිට මාර්තු අතර කාලයේදී මෙරටට සංචාරකයන් රැගෙන මූලිකත්වයෙන් කටයුතු කරන බව විශේෂයෙන් සදහන් කර යුතුය. ඒ මක්නිසාද එම ආයතන දෙක දැනටමත් පෝලන්තයේ සංචාරකයන් යවන විශාලතම සංචාරක සමාගම් නිසයි.
ඒ අතර මෙරට සංචාරක බලධාරීන්ගේ කිසිදු සහයෝගයක් හෝ නොමැතිව බල්ගේරියානු GullivAir ගුවන් සමාගමේ Airbus A330-200 ගුවන්යානාව නොවැම්බර් 29දා බල්ගේරියාවේ අගනුවර සොෆියා නගරයේ සිට බල්ගේරියානු සහ රුමේනියානු සංචාරකයන් 98 ක් රැගෙන මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපලට ගොඩ බැස්සේය. ශ්‍රී ලංකාවට පැමිණි පළමු GullivAir ගුවන් යානාව මත්තල ගුවන් තොටුපලේ කාර්ය මණ්ඩලය උත්සවාකාරයෙන් පිළිගත්තේ, ගුවන් සේවා සහ අපනයන සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක ඇමතිතුමා ලබාදුන් මග පෙන්වීම යටතේය. එසේ එම ගුවන් යානාව මාලදිවයින හරහා පැමිණි නමුත් ඉදිරියේදී සතිපතා සංචාරකයන් රැගෙන ඒමට සැලසුම් කර ඇත. එහිදී විශේෂයෙන් සදහන් කල යුත්තේ බල්ගේරියානු හා රුමේනියානු සංචාරක ඒජන්තවරුන් 46 දෙනෙක් පැමිණීමය. ඔහුන් යාල, නුවරඑළිය, මහනුවර, දඹුල්ල, සීගිරිය, පොළොන්නරුව යන සංචාරක ස්ථාන නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ඊට අමතරව සංචාරකයන් සදහා විවේක ගැනීමට සුදුසු මුහුදුබඩ හෝටල් අධීක්ෂණ කිරීමට අමතක නොකළේය. එහිදී බල්ගේරියානු “Onex Tour” සහ රුමේනියානු “Karpaten” යන සංචාරක සමාගම් මෙම නියෝජිතයන් රැගෙන ඒමට සියලු කටයුතු සුදානම් කරන ලදී. ඔහුන් තුර්කිය, ඊජිප්තුව, ටියුනීසියාව, මාලදිවයින සහ මොරොක්කෝව යන රටවල් සදහා එරට සංචාරකයන් යවන ප්‍රධාන සංචාරක ආයතනයි.
මේ කිසිදු යහපත් ක්‍රියාවක හොඳක් නොදකින විරුද්ධ පාර්ශවයන් දිගින් දිගටම නගන ලද චෝදනා හමුවේ නැවතත් සංචාරකයන් ගෙන්වීම නතර කිරීමට බලධාරීන් කුරුමානම් අල්ලන බවට කටකතා පැතිරෙයි. ඒවා සනාථ කරමින් පසු ගිය 30 වෙනිදා කොරෝනා එන්නත් ලබා නොගත් ගුවන් සමාගමේ සේවකයකු මෙරට බලධාරීන්ගේ නියෝග මත එහිදී අනකරන ලද හෝටලයකට රැගෙන ගියේ, බල්ගේරියානුවන්ගේ අකමැත්ත මෙන්ම එහි සංචාරකයන්ගේ විරෝධය ද කිසිදු අයුරින් සැලකීමට නොගෙන බව කණගාටුවෙන් කිව යුතුය. එසේ ඉදිරියට ද සංචාරකයන් සදහා පීඩාකාරී නියාමනය පැනවීමට නැවතත් සිදුවීම මත රට තුළ සංචාරක ව්‍යාපාරයේ හා ඒ ආශ්රිත කර්මාන්තකරුවන් ලක්ෂ 25 කට ආසන්න පිරිසකට යම් තරමකින් හෝ සහනයක් සැලසීමට තිබෙන අවස්ථාව නැවතත් මගහැරී යාමට ඉඩ ඇති නමුත් PCR වෙළදාම, නිරෝදාන වෙළදාම තම හිතවතුන් ට ලබාදීම ද වැළැක්විය නොහැක.
එදා ගුවන්තොටුපල වසාතබාගෙන සිටිය කාලයේදී “සංචාරක බුබුල” යටතේ පසුගිය වසරේ දෙසැම්බර් සිට මත්තල ගුවන් තොටුපලට පැමිණි Ukraine Airlines, Sky Up Airlines, SCAT Airlines සහ Air Astana සමාගම් යුක්රේනියාවේ හා කසාක්ස්තානයේ සිට සංචාරකයන් රැගෙන ආවේ මත්තල ගුවන්තොටුපල ටය. එදා ශ්‍රී ලංකාවේ බලධාරීන් පනවනු ලැබූ පීඩාකාරී සංචාරක නියාමනය හේතුවෙන් රටට පැමිණි සංචාරකයන් ගෙන් වැඩි පිරිසක් පිටව ගියේ, ඔහුන් හෝටල්වල සිරකරුවන් සේ රදවාගෙන සිටීය බවට අසතුටුදායක පුවතක් සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ද කරමිනි. අවසානයේ දී එම ගුවන් සමාගම් හතරම තම ගුවන්ගමන් අවලංගු කල අතර ඊට මුලික හේතුව “හෝටල් තුල සිරකර තැබිම” වැනි නොයෙකුත් පීඩාකාරී සංචාරක නිර්දේශ බව හොදින් දන්නේ, සංචාරකයන් මෙරටට රැගෙන ආ එම ආයතන බව කිවයුතුය.
එවැනි අමිහිරි මතක සටහන් තිබුණ ද මෙවරත් දෙසැම්බර් 28 සිට මත්තල ට සතියකට දෙපාරක් පැමිණීමට Sky Up Airlines සියලු කටයුතු සූදානම් කර අවසන්ය. ඒ අතර Air Astana දෙසැම්බර් 01 දා සිට TUI Kazakhstan සමග එකතුව සතියකට ගමන් වාර පහ බැගින් කටුනායක ගුවන්තොටුපලට සතියකට සංචාරකයන් 750 ක් රැගෙන ඒමට පටන්ගෙන ඇත. ඒ අතර මොස්කව් සිට ශ්‍රීලන්කන් ගුවන් යානාව සතියකට ගමන් වාර දෙකක් සහ එරෝෆ්ලොට් සතියකට ගමන් වාර දෙක ඇතුළුව මාසයකට රුසියානු, කසාක්ස්තානු, යුක්රේනියානු සංචාරකයන් 8,000 ක් පමණ පැමිණෙනවා ඇත. දැනටමත් “රුසියානු සංචාරක බුබුළ” සංකල්පයට යටතේ පමණක් රුසියානු, යුක්රේනියානු, කසකස්තානු සංචාරකයන් 12,000 කට ආසන්න පිරිසක් මේ වසරේ පැමිණ ඇත.
එදා යුක්රේනියානු සංචාරකයන් මෙරටට කොරෝනා බෝකර බවට විපක්ෂය විසින් මනංකල්පිත චෝදනා එල්ල කරමින් සංචාරක ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට දරන උත්සාහය පසකින් තබා, මොස්කව් – කොලඹ ඍජු ගුවන් ගමන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම හා රුසියානු එරෝෆ්ලොට් ගුවන් සමාගම ආරම්භ කිරීම මෙන්ම යුක්රේනියානු SkyUp ගුවන් සමාගම කිව් – කොලඹ ගුවන් ගමන් සහ Air Astana අල්මති – කොලඹ ගුවන් ගමන් ආරම්භ කිරීම ද සංචාරක මණ්ඩලයේ බලධාරීන්ට කුතුහලයට තුඩුදුන් කරුණක් බව කවුරුත් දන්නා රහසකි. කවූරුන් කෙසේ විරුද්ධ වුවත් මේ මොහොතේ රටට සංචාරකයන් පැමිණීම නතර නොකළ යුතුය. මොකද පසුගිය දින කසාක්ස්තාන් රජය එරට පුරවැසියන්ට ඊජිප්තු සංචාරය තාවකාලිකව තහනම් කිරීම නිසා, කසකස්තාන ඊජිප්තුව අතර සියලු ගුවන් ගමන් නතර කරන ලදී. එසේම ඉදිරි සතියේදී රුසියාව මෙන්ම යුක්රේනය ද එවැනිම පියවරක් ගැනීමට බොහෝ දුරට ඉඩ ඇත. එවැනි වාතාවරණයකදී එම සංචාරකයන් ද පැමිණෙන්නේ ශ්‍රී ලංකාවට බව ජනාධිපතිවරයා පත්කරන ලද අදක්ෂය සංචාරක බලධාරීන් ද හොදින් අවබෝධ කර ගතයුතුය.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සම්පුර්නයෙන්ම පුද්ගලික අංශය සතුව පවතින අතර එයින් ලැබෙන බදු මුදල් හිතුමතේට වියදම් කිරීම මෙරට සැම රජයක්ම සිදුකල බව පිළිගත යුතුය. අදටත් රුසියානු රාජ්‍යය ඇතුළු යුරෝපා රටවලට පැමිණෙන රාජ්‍ය සේවකයින් සඳහා දිනකට රුපියල් ලක්ෂයකට (500 $) වැඩි මුදලක් ගෙවීමට චක්‍ර ලේඛන අනුව ශ්‍රී ලංකා රජය බැදී සිටියි. ඒ නිසාම පසුගිය දින අතිගරු ජනාධිපතිතුමා අවම පිරිසක් කැටුව නිව්යෝක් නුවර පවත්වනු ලැබූ එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගී විය. එය අගය කලයුතු හොද ආදර්ශයක් වන්නේ, ජනධිපතිතුමා පමණක් නොව රජයේ අනිකුත් මැතිඇමතිවරුන් මෙන්ම රජයේ උසස් නිලධාරීන් ද ජනධිපතිවරයා ආදර්ශයට ගත්කල පමණි. මොකද, අද කුඩා සංචාරක වැඩසටහන් වලට පවා, රාජ්‍යතාන්ත්‍රික සංචාර ලෙස රටෙහි ජනතාවට හඟවමින්, තම ගෝලයන් රොත්ත පිටින් රැගෙන සති ගණන් රට සවාරි ගසන්නේ සංචාරක කර්මාන්තයේ නියුතු ශ්‍රමිකයන්ගේ බදු මුදලින් බව අප පිළිගත යුතුයි. එම බලධාරීන් කොරෝනා වසංගත නිසාවෙන් රටෙහි ආර්ථිකය කඩාවැටී ඇති මොහොතේ හෝ ජනාධිපතිවරයා ආදර්ශයට ගන්නා දිනය උදා වනු ඇතයි, රටෙහි ජනතාව තවදුරටත් බලා සිටින්නේ ඊලග ජන්දයට දින ගණන් කරමින් බව එම මැති ඇමතිවරුන් අවබෝධ කරගත යුතුය.
කොරෝනා ඔමික්‍රෝන් ප්‍රභේදය නොව ලෝක යුද්දයක් ආවත් ලක්බිමේ සංචාරක බලධාරීන් තමන්ගේ සාක්කුව පුරවාගැනීමට පසුබට නොවන බව නැවතත් පෙන්නුම් කරයි. ඒ බව සනාථ කරමින් ලබන වසරේදී පුද්ගලික අංශය සමාගම් තම සේවාවන් ලොවට හදුන්වා දීමට අනිවාර්යෙන්ම සහභාගී විය යුතු සංචාරක ප්‍රදර්ශන 16 ක් සදහා අනවශ්‍ය දේශපාලකයින් හා ගෝලයන් සමග බලධාරීන්ට රට රවුම් ගැසීමට ගමන් වියදම් සමග රුපියල් 631,000,000 මුදලක් වියදම් කිරීමට ඇස්තමේන්තු කර ඇති බව පසුගිය දින සභාපතිනිය විසින්ම අදාළ ලේඛන ප්‍රසිද්ධයට පත්කිරීම අපගේ විමතියට කරුණක් විය. එහිදී ඇය පෙන්වා දෙන්නේ මෙම 2021 වසරේදී එතෙර පැවැත්වුණු සංචාරක ප්‍රදර්ශන 5 කට සහභාගී වීමට බලධාරීන්ගේ ගමන් වියදම් සමග රුපියල් 120,542,316 වියදම් කර ඇති අතර ඊට 75 කට ආසන්න පිරිසක් රජයේ වියදමින් සහභාගී වී ඇති බවයි. එසේ නමුත් මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට බලපොරොත්තු වන රටෙහි ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් හා අදාල රටෙහි සංචාරක ප්‍රවර්ධන කටයුතු භාරව සිටින සංචාරක මණ්ඩලයේ එක් නිලධාරියෙක් සහබාගි කරවීමට පමණක් මහජන බදු මුදල් වියදම් කිරීම හොදටම ප්‍රමාණවත් බව අප හොදින් දන්නා කරුණකි. ඊට හොද නිදසුනක් ලෙස අප මතක්කර දිය යුත්තේ, 2015 පෙර ආර්තික කටයුතු භාර අමාත්‍යවරයා මෙන්ම එදා සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා බව කිව යුතුය. ඔහුන්ගේ ධුර කාලයේදී අත්‍යවශ්‍ය රාජතාන්ත්‍රික ඉහළ හමුවකට හැර මෙවන් අනවශ්‍ය කිසිදු ගමන් සිදු නොකිරීම අද රජයේ සියලු නිලදාරීන් ආදර්ශයට ගතයුතුය.
ඒ කෙසේ වුවද ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අපට යළි ගොඩ ගත නොහැක්කක් නොවේ. මක්නිසාද යත් මාලදිවයින පවා අප රට අභිබවා විශාල ලෙස සංචාරක ව්‍යාපාරයෙන් ආදායම් ලබන තත්ත්වයට පත්ව ඇත. මේ කොරෝනා භීෂණය තුළ පවා, රුසියානු, ඉන්දියානු, යුක්රේනියානු හා කසාක්ස්තානු ජාතීන් මාලදිවයිනට වැඩියෙන් පැමිණ ඇත. මෙම වසරේ නොවැම්බර් 29 වෙනිදා දක්වා මාලදිවයිනට සංචාරකයන් 1,153,013 පැමිණ ඇත. ඊට සාපේක්ෂව අප රටට සංචාරකයන් ගේ පැමිණීම 9% ක් වන අතර එහි සංචාරක හොටල් 100% ක්ම වසර අවසානය තෙක් විදේශිකයන් ගෙන් පිරී ඉතිරි ගොස්ය. එම පිරිස අතරින් රුසියානු, යුක්රේනියානු හා කසාක්ස්තානු සංචාරකයන්ගේ එකතුව 260,000 ආසන්නය.
එසේ නමුත් 2021 නොවැම්බර් අවසානයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සමස්ථ සංචාරක පිරිස 99,464කි. ඒ අනුව අපට වඩා 12 ගුණයක් මාලදිවයිනට සංචාරකයන් පැමිණ ඇත. මෙහි පැමිණි ඒ පිරිස අතරින් ද 42% ක්ම නිරෝදනය සදහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු, පකිස්ථානු, ඉන්දුනීසියානු, බංගලාදේශ ආදී රටවල් වලින් මෙහි පැමිණි ශ්‍රමිකයන් මෙන්ම ලාංකික දිත්වපුරවැසියන් බව කිව යුතුය. ඒ පිරිස නොසළකා හරින්න විට, මේ වසරේදී සැබෑ සංචාරකයන් පැමිණ ඇත්තේ 60,000 වඩා අඩු ප්‍රමාණයක් බව සංඛ්‍යාලේඛන පෙන්නුම් කරයි. එදා සංචාරක මණ්ඩලය රටට පොරොන්දු වුයේ සංචාරකයන් මිලියන 1.5 ක් මෙම වසරේදී රැගෙන එන බවයි. නමුත් එදා මෙන්ම අදත් බලධාරීන් පනවන පීඩාකාරී සංචාරක නියාමන, PCR වෙළදාම හා නිරෝදාන වෙළදාම වැනි හේතුන් නිසා මෙතෙක් රටට සැබෑ සංචාරකයන් පැමිණ ඇත්තේ දිනකට සාමාන්‍ය 250 කට අඩු ප්රමාණයකි. සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි හෝටල්වල කාමර 42,000 පමණ තිබෙන රටට, කෙසේවත් එය ප්‍රමාණවත් නොවන බව නායකයන්ට නොවැටහෙන නමුත්, සත්‍යයයි එය බව අප වටහාගත යුතුය. අද සාර්ථකව සංචාරක කර්මාන්තය කලමනාකරණය කරන මාලදිවයිනට මේ වසරේ සංචාරකයන් පැමිණීම දිනකට සාමාන්‍ය 3,452 ක් බව ද පෙන්නුම් කරයි.
කාලයෙන් කාලයට කොරෝනා වසංගතයේ අලුත් ප්‍රභේද ලෝකයේ බොහෝ රටවලින් හදුනාගෙන ඇති නමුත් මෙතෙක් මෙරට පැමිණි රුසියානු, යුක්රේනියානු හා කසාක්ස්තානු සංචාරකයින්ගෙන් සියයට 99.6% ක්ම නිරෝගී වුවෝ බව අපට සනාථ වී ඇත. එසේම කොරෝනා වසංගත සමයේ වුවත් මාලදිවයින රජය, තුර්කි රාජ්‍ය මෙන්ම ඊජ්ප්තුව රජය ගත් නිවරදි තීන්දු තීරණ, අධ්‍යනය කර 2022 සීතල කාලයේදී හෝ මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීමට අප රජය බලාපොරොත්තු වන්නේ නම්, අවම වශයෙන් දැනට ලබාදී ඇති සෞඛ්‍ය නිර්දේශ වෙනස් නොකර බුද්ධිමත්ව සංචාරක හිතකාමී නිර්දේශ පමණක් ලබාදීමට රජයට කාලය උදාවී ඇත.
– උදයාංග වීරතුංග
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති.
ලංකාවේ හැඩ බලන්න නැගෙනහිර යුරෝපයෙන්..