මම එහා මේසයේ… මංගල මෙහා මේසයේ…

මම එහා මේසයේ… මාව අල්ලන්න ආපු පොලිසියයි මංගල ඇමතිතුමායි මෙහා මේසයේ… උදයංග දිවයිනට කතාකරයි

ඔන්න ඇල්ලුවා කියලා කියනවා… මම ගෙදරට වෙලා, ඒවා රූපවාහිනියෙන් බලාගෙන හිනාවෙනවා…

ඩුබායිවලට ආපු පොලීසිය එහෙ මෙහෙ ඇවිදිනවා… මම ඒ ගොල්ලෝ ළගට වෙලා ඉන්නවා…

සාකච්ඡා කළේ; මනෝඡ් අබයදීර

udayangaඋදයංග වීරතුංග කොහේ සිටින්නේද දන්නේ ඔහු පමණය. අප සමඟ ඔහුගේ සාකච්ඡා කරන අවස්‌ථාවේ ඔහු සිටි ස්‌ථානයේ මේ වන විට ඔහු, සිටිනවාද නැද්ද දන්නේ ද ඔහු පමණය. අමාත්‍ය රාජිත සේනාරත්නට අනුව දැන් ඔහු සිටින්නේ ඩුබායිහි සිරමැදිරියකය. කැබිනට්‌ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පවසන ලද්දේ, ඔහු ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා, රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා පවත්වන බවය. උදයංග සමඟ ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සාකච්ඡාවක්‌ පවත්වන ලද්දේ මේ සියල්ල අතර මැද්දේය. මෙවර පළ වන්නේ එහි දෙවැනි කොටසයි.

මිග් ගනුදෙනුව සහ සිය රියෑදුරා ඝාතනය සම්බන්ධයෙන් ඔහුට එල්ලවූ චෝදනාවලට අමතරව, උදයංග වටා තවත් කතා ගණනාවක්‌ නිර්මාණය වී තිබේ. ඒ සියල්ලට ඔහු දුන් පිළිතුරු මෙවර සාකච්ඡාවේ පළ වේ.

ප්‍රශ්නය – මිග් යානා ගනුදෙනුවට අදාළ මේ ගිවිසුම සඳහා ඔබ කිසිදු මැදිහත්වීමක්‌ කර නැති බව කියනවා… තානාපතිවරයෙක්‌ ලෙස ඒ සඳහා කළ යුතු රාජකාරිය හැරුණු විට අන් යමක්‌ ඔබ නොකළ බව කියනවා. ඒ අතරේම මේ සඳහා ප්‍රශ්න කළ යුතු පාර්ශවයන්ගෙන් ප්‍රශ්න නොකරන බවත් ඔබ කියනවා. එසේ නම් මේ සඳහා ප්‍රශ්න කළ යුතු වන්නේ හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාගෙන් නේද…?

පිළිතුර – නැහැ… මේ ගනුදෙනුව සඳහා එතුමා කිසිදු මැදිහත් වීමක්‌ හෝ සම්බන්ධවීමක්‌ කරලා නැහැ. මේ මිලදී ගැනීම් සඳහා වන එක කමිටුවක සාමාජිකයකු ලෙස, ආරක්‌ෂක ලේකම් ලෙස නිල බලයෙන් ඔහු සිටියා. ඒ හැරෙන්නට ඔහුට වෙන කිසිදු සම්බන්ධයක්‌ මේ සඳහා නැහැ. මේ ගනුදෙනුව, ආණ්‌ඩුවේ පුද්ගලයන් කීපදෙනකු එකතු වෙලා කරපු හොර මගඩියක්‌ කියලා කියන්න, යහපාලන ආණ්‌ඩුව දඟලනවා… මට තේරෙන විදිහට නම් මේක නිසි ආකාරව සිදුකෙරුණු ආණ්‌ඩුවේ ප්‍රසම්පාදනයක්‌… මුළු ගනුදෙනුවම අධීක්‌ෂණය කිරීම සඳහා, කැබිනට්‌ මණ්‌ඩලයෙන් පත්කරපු ටෙන්ඩර් කමිටුවක්‌ තිබ්බා. එහි සභාපති වුණේ ජාතිය ගොඩනැඟීමේ හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්. එස්‌. ජයසිංහ. අනික්‌ සාමාජිකයන් වුණේ, ආරක්‌ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ හා මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් එස්‌. බී. දිවාරත්න යන මහත්වරු… මෙයට අමතරව ජාතික ප්‍රසම්පාදන ආයතනය විසින් පත්කරපු ‘තාක්‌ෂණික ඇගයීම් කමිටුවක්‌’ තිබුණා. ඒකේ සභාපති තමයි, එයාර් වයිස්‌ මාර්ෂල් රොෂාන් ගුණතිලක, ගුවන් හමුදාවේ ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්‌ෂ ගුවන් කොමදෝරු ඊ. ජී. අයි. පී. ද සිල්වා, ආරක්‌ෂක අමාත්‍යාංශයේ ගණකාධිකාරි එච්. ඩී. වීරසිරි, මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය ඩී. පී. ටී. නානායක්‌කාර, සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ ඡේ. වී. ප්‍රේමරත්න හා මුදල් අමාත්‍යාංශයේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ කේ. ඩී. ආර්. ඔල්ගා යන පිරිස. මේ ගනුදෙනුවේ අවසන් මිල ගණන් සාකච්ඡා කිරීමට කැබිනට්‌ මණ්‌ඩලය විසින් මහා භාණ්‌ඩාගාරයේ පී. ඒ. ප්‍රේමතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් කමිටුවක්‌ පත්කර තිබූණා. මේ කමිටුව යුක්‌රේන්මාෂ් සමාගමෙන් ඉල්ලා සිටියේ, මෙය ආණ්‌ඩු දෙකක්‌ අතර සිදුවන ගනුදෙනුවක්‌ නිසාත්, ලංකාවත් යුක්‌රේන්මාෂ් සමාගමත් අතර සෑහෙන කලක සිට තිබුණු සම්බන්ධතාවය නිසාත්, මුළු ගනුදෙනු මිලෙන් 0.27% කට සමාන වට්‌ටමක්‌ වෙනුවට සමස්‌ත මිලෙන් 0.84% කට සමාන වැඩි වට්‌ටමක්‌ ලබාදෙන ලෙස සහ පහසු ගෙවීම් ක්‍රමයට අදාළ පොලී අනුපාතය 1.5% සිට 0.75% දක්‌වා අඩුකරන ලෙසයි.

මේක සම්පූර්ණයෙන්ම ගුවන් හමුදාව සහ යුක්‌රේන්මාෂ් සමගම අතර සිද්ධ වුණු ගනුදෙනුවක්‌… ගුවන් හමුදාව තමයි මේ බඩු ඕනේ කියලා කිව්වේ… ඒ අය තමයි මේ බඩු පරීක්‌ෂා කළේ,. ඒ අය තමයි මේ බඩු ගන්න තීරණය කළේ. ඒ අය තමයි මේ බඩුවලට මුදල් ගෙව්වේ… මේවා ගන්න තීරණය කළේ 2000 වසරේදී. 2000 වසරේදී පළවැනි වතාවට අපි, අලුත්වැඩියා නොකර, ගුවන් යානා හතක්‌ ගත්තා. ඒ හත, ඉතා සාර්ථකව අපි පාවිච්චි කළා. ඉන් තුනක්‌ වැටුණා. ඉතිරි හතර, තව වසරකට පස්‌සේ පාවිච්චි කරන්න බැරි වුණා. මේ නිසා, අලුත්වැඩියා නොකර ගුවන් යානා, පාවිච්චි කරන්න බැරි බව ගුවන් හමුදාව තේරුම් ගත්තා. ඒ අනුව, වසර අටක්‌ පාවිච්චි කිරීම සඳහා, සම්පූර්ණ අලුත්වැඩියා කිරීමෙන් පසුව ගුවන් යානා අපි ලබා ගත යුතුයි කියන තීරණය අනුව තමයි, මේ මිලදී ගැනීම සිදුවුණේ… ඒ අලුත්වැඩියා කටයුතු සිදු වුණේ අපේ ඉංජිනේරුවන් ඉදිරිපිට… මේ ගනුදෙනුවල, මම හිටියේ තානාපති ලෙස හෝ කොන්සල්වරයා ලෙස අපෙන් ගිය නිලධාරීන්ට උදව් කිරීමට මිසක්‌, මේ ගනුදෙනු සඳහා මගේ කිසිදු මැදිහත්වීමක්‌ සිදුවුණේ නැහැ. ගනුදෙනුවේ ප්‍රශ්න තියෙනවා නම් ඒ සඳහා අපිව අල්ලාගෙන හරියන්නේ නැහැ…

ප්‍රශ්නය – පසුගිය ආණ්‌ඩු කාලයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්‌ථානයට, විසි පස්‌ වතාවක්‌ පමණ ඔබ ගොස්‌ තිබුණා… මේ පැමිණීමත් ඔබ සහ මිග් යානා ගනුදෙනුව පිළිබඳව සැක කිරීමට එක්‌ හේතුවක්‌…?

පිළිතුර – මම යුක්‌රේනයේ කොන්සල් ලෙස සේවය කරන කාලයේදී වැඩියෙන්ම සේවය කළේ, ගුවන් හමුදාවට කියන්න පුළුවන්… ඒ නිලධාරීන් සඳහා මගේ සේවය මම අවංකව සහ කාර්යක්‌ෂමව ඉෂ්ට කළා… ඒවා ගනුදෙනු නෙමෙයි… ඒ කිසිදු තැනක මම ගනුදෙනු කළේ නැහැ… වසර ගණනාවක්‌ එසේ දැන හඳුනාගෙන සිටිය නිලධාරීන්, ලංකාවට ආවාම මම හමුවෙන්න යනවා… ඒ යන්නේ කාටවත් හොරෙන්වත්, හොර වැඩවලටවත්, ගනුදෙනු කතා කරන්නවත් නෙමෙයි… ගුවන් හමුදා මූලස්‌ථානයට යනකොට, එහෙට යන අයගේ නම් ලියන පොතක්‌ තියෙනවා… ඒකේ මගේ නම ලියලා, ආදාළ තොරතුරු දීලා තමයි මම ගියේ… එහෙම නැතුව, හොරු යනවා වගේ අපි ගියේ නැහැ…

udayanga1

ප්‍රශ්නය – යුක්‌රේන් රජය විසින් කරන ලද ප්‍රකාශයකට අනුව, මේ ගනුදෙනුවේදී යම් කිසි කොමිස්‌ මුදලක්‌ හුවමාරුවී ඇතැයි පැවසෙනවා. ඒ කොමිස්‌ මුදල ලබා දුන්නේ කාට වෙන්න පුළුවන් ද…?

පිළිතුර – එවැනි කොමිස්‌ මුදලක්‌ හුවමාරු වී ඇතැයි යම් කෙනකු පවසනවා නම්, එය ලබා ගත්තේ කාගෙන්ද කියන එක විමසිය යුත්තේත් ඔහුගෙන්මයි. කොමිස්‌ මුදලට මම සම්බන්ධයි කියනවා නම්, ඒ සඳහා මම වග කියන්න ඕනේ. කොමිස්‌ මුදලක්‌ මට ගෙවලා තියෙනවා නම්, ඒ ගැන මට හරියටම චෝදනාවක්‌ ඉදිරිපත් කරන්න ඕනෙනේ… එවැනි චෝදනාවක්‌ අද වෙනකං ඉදිරිපත් කරලා නැහැනේ. යුක්‌රේන් බලධාරීන් කිව්වා කියලා, මේ අය මුලින් සඳහන් කරපු දේවල් ගැනත් මම කියන්නම්… ලංකාව සමගවත්, බෙලිමිසා හෝල්ඩින්ග්ස්‌ ආයතනය සමගවත් මෙහෙම ගිවිසුමක්‌ අත්සන් කළේ නැහැ කියලා, යුක්‌රේනය කිව්වා කියලා, එෆ්.සී.අයි.ඩී. එක කිව්වා. එහෙනම් මිග් ගුවන් යානා හතරක්‌ අලුතෙන් අරගෙන, තවත් හතරක්‌ අලුත්වැඩියා කරලා, ලංකාවේ තිබෙන බව එම බලධාරීන් පිළිගන්නවාද…? එහෙම නම් මේ ගුවන් යානා ලංකාවට ආවේ කොහොමද…? මේක ආයුධයක්‌… එවැනි දෙයක්‌, රටක්‌ තව රටකට විකුණන කොට එන්.යූ. සහතිකයක්‌ ලබා දිය යුතුයි. මේ මිලදී ගන්නා ආයුධය මගේ පාවිච්චියට පමණයි, මේක වෙනත් පාර්ශවයකට විකුණන්නේ නැහැ කියලා, එම සහතිකයෙන්, මේක මිලදී ගන්නා පාර්ශවය පොරොන්දුවක්‌ දිය යුතු වෙනවා. ඒක ලෝක සම්මතයක්‌… එසේ නම්, වසර දෙකක්‌ තිස්‌සේ, යුක්‌රේන් ජාතිකයන් ලංකාවේ පදිංචි වෙලා, මේ යානා අලුත්වැඩියා කළේ කොහොමද…? එසේ ගනුදෙනුවක්‌ නොමැතිව මේ යානා ලංකාවට ආවේ කොහොමද…? මේ දේවල් තියාගෙන ආණ්‌ඩුව මොනවද මේ කතා කරන්නේ…?

මගේ රාජ්‍යතාන්ත්‍රික පාස්‌පෝට්‌ එක අවලංගු කරලා තියෙද්දී, ඒක අවලංගු කරලා නැහැ කියන එෆ්.සී.අයි.ඩී. එක කියන, කතා පිළිගන්න පුළුවන්ද…?

ප්‍රශ්නය – ඔබේ ප්‍රකාශය අනුව පෙනී යන්නේ, යුක්‌රේන් ආණ්‌ඩුවත් ඔබට විරුද්ධව අසත්‍ය ප්‍රකාශ කරනවා කියන එකද…?

පිළිතුර – නැහැ… යුක්‌රේන් ආණ්‌ඩුව කියනවා කියලා, එෆ්.සී.අයි.ඩී.එක කියන බොරු ගැනයි, මම කියන්නේ. මට ඔවුන් කියන දේ ගැන විශ්වාසයක්‌ නැහැ.

ප්‍රශ්නය – මිග් ගනුදෙනුවේ චෝදනාවට අමතර, මිනීමැරීම සම්බන්ධවත් ඔබට එරෙහිව චෝදනා එල්ල වුණා. ඔබගේ රියෑදුරා ලෙස සේවය කරපු නොයෙල් රණවීර, ඝාතනය වුණේ කොහොමද…?

පිළිතුර – ඒක ඝාතනයක්‌ වුණේ යහපාලන ආණ්‌ඩුවට… අපි හිටපු හෝටලයේ පිටිපස්‌සේ සිදුවුණු රිය අනතුරකින්, ඔහු මිය ගියා… ඔහු මං ගාව අවුරුදු එකොළහක්‌ වැඩ කරපු සේවකයෙක්‌… ඔහුගේ මරණය සම්බධයෙන් මං වගේම අපේ පවුලේ සියලු දෙනාම අදටත් කනගාටු වෙනවා. අපිට හිටපු රත්තරන් මනුෂ්‍යයෙක්‌ තමයි නැති වුණේ. ඔහුගේ මරණය ඝාතනයක්‌ ද නැද්ද කියන එක හරිම සරලයි. ඔහු රිය අනතුරට ලක්‌වීම, හෝටලයේ තිබුණු සීසීටීවී කැමරා දෙකක පටිගත වෙලා තියෙනවා. ඒ සිද්ධිය ඉතා පැහැදිලිව එහි සටහන් වෙලා තියෙනවා. මේ පිළිබඳව ක්‍රොස්‌තොප් දිස්‌ත්‍රික්‌ අධිකරණයේ නඩුවක්‌ තිබුණා. ඒ නඩුවේ වාර්තාව පිටු තිස්‌ හතරක්‌… එයින් ලැබුණු තීන්දුව අනුව අදාළ රියෑදුරාට දඬුවම් සහ අවවාද දීලා තියෙනවා. ඒ වාර්තාව ලංකා රජයට භාර දීලා තියෙනවා. ඒක ආවාට පස්‌සේ තමයි, නොයෙල්ගේ දේහය නැවත වළ දැමීම සඳහා උසාවිය අවසර දීලා තිබුණේ… මට එරෙහිව එතැනදී කිසිදු සඳහනක්‌ නැතිව, එහෙම චෝදනාවක්‌ විතරක්‌ කරලා තියෙනවා. ‘තාත්තේ මේ කතාවේ තේරුම මොකක්‌ද…? කියලා, මගේ පුතා, අදටත් මගෙන් මේ ගැන අහනවා. ඒක මට හරිම වේදනාවක්‌… නොයෙල් කියන්නේ,අපේ පවුලේම සාමාජිකයෙක්‌ වගේ, අවුරුදු එකොළහක්‌ අපිත් එක්‌කම සිටිය කෙනෙක්‌… එහෙම කෙනෙක්‌ මරන්න තරම්, කුරිරු මිනිහෙක්‌ ද මම… මේ ආණ්‌ඩුව අපිව හොරු කළා… මිනීමරුවෝ කළා… අපිට නොකළේ මොනවාද…?’

ප්‍රශ්නය – ඔබ මෑතකදී ඩුබායිවලට ගොස්‌ තිබුණා… ඔබේ ඩුබායි ගමනේ අරමුණ වූයේ කුමක්‌ද…?

පිළිතුර – මම එදා ගියේ ලොස්‌ඇන්ජලීස්‌වලට… ඒක බොහොම දිගු ගුවන් ගමනක්‌. ඒ සඳහා මම ගියේ එමිරේට්‌ස්‌ ගුවන් යානයකින්… එතැනදී තමයි මාව ඩුබායිවලින් අත්අඩංගුවට ගත්තේ…

udayanga2

ප්‍රශ්නය – ඩුබායි වලින් ඔබ නිදහස්‌ වුණේ කොහොමද…?

පිළිතුර – මට මුලින්ම වරෙන්තුවක්‌ නිකුත් කළේ 2016 ඔක්‌තෝම්බර් මාසයේදී… එදා අපේ රටේ බලධාරීන් මා වෙත රතු වරෙන්තුවක්‌ නිකුත් කරන ලෙස ඉන්ටර්පෝල් එකෙන් ඉල්ලා සිටියා. නමුත් ඉන්ටර්පොල් එක එදා නිකුත් කළේ නිල් වරෙන්තුවක්‌… නිල් වරෙන්තුවක්‌ කියන්නේ, යමෙක්‌ දුටු තැන අත්අඩංගුවට ගැනීමට දෙන නිවේදනයක්‌ නොවේ. නිල් වරෙන්තුවක්‌ කියන්නේ, මගෙන් ප්‍රශ්න අහලා, මට යන්න දෙන්න හැකියාව තියෙන වරෙන්තුවක්‌… එයින් අත්අඩංගුවට ගැනීමට අවසරයක්‌ ලැබෙන්නේ නැහැ. ඊට සති දෙකකට කලිනුත් මම ඩුබායි වලින් ගියා. ඒ වෙලාවේ කිසිම දෙයක්‌ වුණේ නැහැ. ඊට පසු අවස්‌ථාවක මම ඩුබායිවලින් යද්දී තමයි මගෙන් ප්‍රශ්න කළේ. මගේ ගුවන් ටිකට්‌ පත්‍ර මාර්ගයෙන් ගමන් විස්‌තර දැනගෙන වෙන්න ඇති, මාව අත්අඩංගුවට ගන්නා ලෙස ඩුබායි බලධාරීන්ගෙන් ඉල්ලීමක්‌ කර තිබුණා… ‘මොහුට දැනට නිල් වරෙන්තුවක්‌ තියෙන්නේ… ළඟදීම රතු වරෙන්තුවක්‌ නිකුත් කරනවා. ඒ නිසා මොහුව අත්අඩංගුවට ගන්න…’ කියලා ඉල්ලීමක්‌ කරලා තිබ්බා… ඒ නිසා ඩුබායි ගුවන් තොටුපළේ බලධාරීන් මාව අත්අඩංගුවට ගත්තා. මම මේ පිළිබඳව පැහැදිලි කළාට පස්‌සේ, ඔවුන් මාව නිදහස්‌ කළා. ඒක තමයි ඇත්ත කතාව. ආණ්‌ඩුව මාව මේ විදිහට දඩයම් කරන්නේ, මා අධිකරණයට කට උත්තරයක්‌ දුන්නේ නැහැ කියන එක නිසා.

ප්‍රශ්නය – රුසියාවේ හෝ යුක්‌රේනයේ ඉහළ පාර්ශව වෙතින්, ඩුබායි රටෙන් කරන ලද ඉල්ලීමක්‌ නිසා ඔබ නිදහස්‌ වුණ බව සඳහන් වෙනවා…

පිළිතුර – මම ඒ ගැන කිසිවක්‌ පවසන්නේ නැහැ… මම නිදහස්‌ වෙලා ගෙදර ඉද්දි, මාව අල්ලපු බවට රූපවාහිනීයෙන් කියනවා, මම දැක්‌කා… මම ඩුබායිවල අත්අඩංගුවේ සිටිනවා කියලා බලධාරීන් කියනවා. මම එළියේ ඉද්දි මොනවද මේ කියන්නේ කියලා, ගෙදර ඉදන් ඒවා බලලා, මම හොඳටම හිනා වෙනවා. මාව අල්ලන්න කියලා, ඩුබායිවලට ලංකාවෙන් ඇවිල්ලා හිටපු නිලධාරීන් හයදෙනෙක්‌, එහෙ මෙහෙ ඇවිදිනවා මම දක්‌කා… මම ඔවුන් ළඟින් ගියා… ඔවුන් ගිය සමහර තැන්වලටත් මං ගියා.. .ඒත්, ඔවුන්ට මාව අදුරගන්නවත් බැරි වුණා…

ප්‍රශ්නය – ඔබ එහිදී සිටියේ වෙස්‌ වලාගෙන ද…?

පිළිතුර – නැහැ… මම හිටියේ මේ විදිහටමයි.

ප්‍රශ්නය – ඔබට ඉතා පහසුවෙන් කට උත්තරයක්‌ ලබා දෙන්න පුළුවන්කම තිබියදී, මෙසේ ආණ්‌ඩුවත් සමඟ හැංගිමුත්තන් සෙල්ලම් කරමින් ලබන අමුතුම තෘප්තිය කුමක්‌ද…?

පිළිතුර – පළමුවෙන්ම මේ ආණ්‌ඩුව විසින් කරගෙන යන දේ ගැන මට විශ්වාසයක්‌ නැහැ… මට විතරක්‌ නෙමෙයි, මේ රටේ ජනතාවටත් එවැනි විශ්වාසයක්‌ නැහැ. මේක යුක්‌තිය පසිඳලීමේ ක්‍රියාන්විතයක්‌ නොවෙයි…. පොලිස්‌ රාජ්‍යයක දඩයම් කෙළියක්‌… ඒකට බලෙන් පැනලා, ගොදුරු වෙන්න මට වුවමනාවක්‌ නැහැ. මේ අයට අවශ්‍ය වන්නේ, මාව හිරේ දාගෙන විනෝද වෙන්න මිසක්‌ ඇත්ත, නැත්ත සොයා බලා, සාධාරණයක්‌ ඉෂ්ට කරන්න නෙමෙයි…. ඒ අයගේ විනෝදාංශයට අපි කැමැත්තෙන් ගොදුරු වෙන්නේ මොකටද…? මම කට උත්තර ලබා නොදුන්නාට, මගේ නීතිඥ මහත්වරු මාර්ගයෙන් මේ පිළිබදව සියලු දේවල් මම අධිකරණයට දන්වලා තියෙනවා. ඒ කිසිවක්‌ ගැන මේ අය කිසිදු තැකීමක්‌ කරන්නේ නැහැ. අනිත් එක මේ අය එක එක දවසට කියන්නේ එක එක දේවල්… එහෙම දේවල් ගැන කොහොමද මං එක කටඋත්තරයක්‌ දෙන්නේ… මම කට උත්තරයක්‌ දුන්නා කියලා, ඒකෙන් මේ ආණ්‌ඩුව සැනසෙන්නේ නැහැ…

ප්‍රශ්නය – සිරගතවීම පිළිබඳව ඔබට සැකයක්‌ තිබ්බා නම්, ලිඛිත කට උත්තරයක්‌ අධිකරණයට ලබා දීමේ හැකියාවක්‌ ඔබට තිබෙනවා…

පිළිතුර – ඔව්, එවැනි හැකියාවක්‌ තියෙනවා… ඒ සියල්ල පවතින්නේ විශ්වාසය සහ පිළිගැනීම මත… මටවත් මේ රටේ ජනතාවටත් මේ ක්‍රියාවලිය විශ්වාස නැහැ… අපි මේ පොලිස්‌ දඩයම පිළිගන්නේ නැහැ. මේ සඳහා එක උදාහරණයක්‌ මම කියන්නම්… රටේ නීතිය අනුව යම් පුද්ගලයකුට ගමන් බලපත්‍ර දෙකක්‌ තියෙන්න බැහැ. අඩුම ගාණේ ඒ නීතියවත් අධිකරණය පිළිගන්නේ නැහැ. පාස්‌පෝට්‌ දෙකම අවලංගු කරන්න කියලා, අධිකරණය නියෝග කරනවා. මගේ පාස්‌පෝට්‌ එක පිළිබඳව පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක්‌ මතු වුණා. ඒ වෙලාවේ අදාළ අමාත්‍යංශය භාර අමාත්‍ය එස්‌.බී. නාවින්න මහතා සඳහන් කළේ, මට තිබුණු රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රය වෙනුවට සාමාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක්‌ නිකුත් කර තිබෙන බවයි. එසේ තිබියදී අධිකරණය පිළිගන්නේ, උත්තරීතර පාර්ලිමේන්තුවේදී, අමත්‍යවරයා කියන කාරණය නෙමෙයි… එෆ්.සී.අයි.ඩී. එක කියන කාරණයයි. එහෙම තැනකට ලිඛිතව හෝ වාචිකව මම මොකටද කට උත්තර දෙන්නේ…

ප්‍රශ්නය – ඔබ දැන් සිටින්නේ කොහේද…? සිතාසියක්‌ භාර දීම සඳහා හෝ ඔබ සිටිනා ස්‌ථානයක්‌ පිළිබඳව දැන ගැනීමට නැති බවයි, අධිකරණය පවසා තිබෙන්නේ…?

පිළිතුර – මට සිතාසි නිකුත් කළා කියලා, පත්තරයේ පළවුණ පමණින් මට ඇවිල්ලා සාක්‌ෂි දෙන්න හෝ කට උත්තර දෙන්න පුළුවන්කමක්‌ නැහැනේ… ඒක මගේ නිවසට භාර දෙන්න ඕනේ… ඒක තමයි නීතිය. සිතාසිය යුක්‌රේන් වල මගේ නිවසට එවන්න අවම වශයෙන්, හුවමාරු ස්‌ථාන දොළහක්‌වත් පසු කළ යුතු වෙනවා. මේ සිතාසිය උසාවියේ ඉදන් විදේශ අමාත්‍යංශයට එවන්න සතියක්‌ ගියා. එවැනි ස්‌ථාන දොළහක්‌ පසු කරන්න අවම වශයෙන් සති දොළහක්‌වත් යනවනේ… එහෙම තියෙද්දී, සතියකට පස්‌සේ, අධිකරණය කියනවා, ඒ ලිපිනය වැරදියි… එහෙම ලිපිනයක්‌ නැහැ කියලා… ඒක මගේ පෞද්ගලික නිවස, අදටත් ඒක තියෙන්නේ මගේ නමට… ඒ නිවසේ මම ලියාපදිංචි වී ඇති බවට යුක්‌රේන් බලධාරීන් ලිඛිතව සනාථ කර තිබෙනවා. ඒ නිවසට සිතාසී බාර දෙන්නේ නැතුව විදේශ අමාත්‍යාංශය හොරට ලියුම් ගහනවා නම්, ඒක වැරදියිනේ… විදේශ අමාත්‍යාංශය කරන්නේ හොරට ලියුම් ගහන එක… එම ලිපිනය මගේ නොවන බව, යුක්‌රේන් විදේශ අමාත්‍යාංශය කියූ බව කියමින්, අපේ විදේශ අමාත්‍යාංශය හොරට ලියුම් ගැසීම නිවැරදිද…? යුක්‌රේන් විදේශ අමාත්‍යංශයට ඒවැනි සිතාසියක්‌ ලැබුණේ නැති බවට මට සනාථ කර තිබෙනවා. එහෙම තත්ත්වයක්‌ තුළ මේ අධිකරණ ක්‍රියා මාර්ගය විශ්වාස කරලා, මම ලංකාවට එන්නේ මොකටද…? මම කට උත්තර දෙන්නේ මොකටද…?

මම භීෂණය දැකලා තියෙනවා. මම යුක්‌රේනයේ භීෂණයත් දැකලා තියෙනවා. ඒ නිසා අද අපේ රටේ යන භිෂණය පිළිබඳව මට හොඳ දැනුමක්‌ තිබෙනවා. මේ රටේ මොකක්‌ද වෙන්නේ කියලා මට පේනවා. අපේ රටට වෙන්නේ, යුක්‌රේන්වලට අද වෙච්ච දේ ඡායා පිටපතක්‌…

ප්‍රශ්නය – ඔබ රුසියාවේ හෝ යුක්‌රේනයේ ලොකු චරිතයක්‌ ද…?

පිළිතුර – මම රුසියාවේ අවුරුදු තිස්‌ හතරක්‌ හිටපු, සෝවියට්‌ දේශයේ ජනතාව නිසා උසස්‌ අධ්‍යාපනය ලබා ගත්ත, සාමාන්‍ය කෙනෙක්‌. මම ලාංකික පුරවැසියෙක්‌… එහෙම ලොකු චරිතයක්‌ කියන්න බැහැ…

ප්‍රශ්නය – සමහරු කියන්නේ ඔබ හා ජනාධිපති පුටින් අතර සමීප සම්බන්ධයක්‌ තිබෙන බවයි. ඔහුගේ කාමරයේ දොර ඇරගෙන ගොස්‌ ඕනෑම මොහොතක ඔහු හමුවීම සඳහා අවස්‌ථාව ඇති අයගෙන් එක්‌ අයෙක්‌ වන්නේ උදයංග වීරතුංග බවටත් රාවයක්‌ පැතිරුණා…

පිළිතුර – කවුරු හරි කියනවා නම් ජනාධිපති පුටින්ව හෝ ඒ පවුලේ අයව ළඟින් ආශ්‍රය කරන ලාංකිකයෙක්‌ ඉන්නවා කියලා, මම ඒක විශ්වාස කරන්නේ නැහැ… පුටින් ජනාධිපතිතුමා කියන්නේ, අද ලෝකයේ සිටින සාර්ථකම රාජ්‍ය නායකයෙක්‌. මම ඔහුට ඉතාම ගෞරව කරනවා. යම් කිසි අවශ්‍යතාවයකට ඔහුව හමුවීමේ ශක්‌තිය මට තිබෙනවා. ඒ වගේම ඔහුගේ විදේශ අමාත්‍ය ලැව්රොෆ් මහතා, හමුවීමේ ශක්‌තියක්‌ මට තිබෙනවා. එකෙන් මම කියන්නේ නැහැ, පුටින් ජනාධිපතිතුමාගේ නිදන කාමරයේ දොර ඇරගෙන යන්න හෝ ඔහු සමග හිතුණු හිතුනු වෙලාවට ගිහිල්ලා වයින් බොන්න, මට පුළුවන් කියලා. අපි සාධාරණව පිළිගන්න ඕනේ ඇත්ත මොකක්‌ද කියලා. ඔහු ලෝකයේ සිටින දක්‌ෂ නායකයෙක්‌ වගේම කාර්යය බහුල නායකයෙක්‌… මම වගේ පුංචි මිනිහෙක්‌ උදේ හවස ගිහිල්ලා එතුමා සමග වයින් බොනවා කියන එක, එතුමාට කරන නිග්‍රහයක්‌…

ප්‍රශ්නය – ඔබ රුසියන් හෝ යුක්‌රේන් ඔත්තුකරුවෙක්‌ද…? එහෙම නැත්නම් බුද්ධි නිලධාරියෙක්‌ ද…?

පිළිතුර – ඒ ප්‍රශ්නය සඳහා මම පිළිතුරු දෙන්න කැමති නැහැ… රුසියන් සහ යුක්‌රේන බුද්ධි අංශ කියන්නේ මේ ලෝකයේ සිටින දක්‌ෂම ඔත්තු සේවා ලෙසයි මම පිළිගන්නේ… ඔවුන්ගේ වැඩ කටයුතු ගැන මම කතා කරන්න කැමති නැහැ…

ප්‍රශ්නය – අවසන් වරට පුටින් ජනාධිපතිතුමා ඔබට හමුවුණේ කවදාද…?

පිළිතුර – ඒ සඳහා පිළිතුරක්‌ ලබා දෙන්න පුලුවන් කමක්‌ නැහැ…

ප්‍රශ්නය – ඔබට ජනාධිපති පුටින් අවසන් වරට මුණ ගැසෙන්නේ, තානාපතිවරයා ලෙස කටයුතු කරන විට ද…?

පිළිතුර – මම තානාපති ලෙස නෙමෙයි, ඔහුව අවසන් වරට හමුවුණේ…

ප්‍රශ්නය – රුසියාවේ හා යුක්‌රේනයේ මැදිහත්වීම නිසා ඔබ මෙසේ බේරී සිටින බවට යමෙකුට කියන්න පුළුවන්ද…?

පිළිතුර – මේ බොරු චෝදනා වලින් බේරෙන්න කාගේවත් සරණක්‌ ඕනේ නැහැ… මේවා යහපාලන ආණ්‌ඩුව අපෙන් පලිගැනීම සඳහා ගොතා තිබෙන බොරු කතා කියලා දවසින් දවස ඔප්පු වෙනවා. එසේ වුවත් මේ රටවල් දෙකේ ආශිර්වාදය මට තියෙනවා. ඒ අයට මං ගැන විශ්වාසයක්‌ තිබෙනවා. ඒ සඳහා හොඳ උදාහරණයක්‌ මම කියන්නම්… අපේ මහින්ද ජනාධිපතිතුමා සහ යුක්‌රේන් ජනාධිපතිතුමා අතර හමුවක්‌ සංවිධානය වුණා. එහිදී අපේ ජනාධිපතිතුමාගේ පරිවර්තක ලෙස කටයුතු කළේ මම. ඒ පැත්තෙනුත් පරිවර්තකවරයෙක්‌ හිටියා. විනාඩි දහයක විතර කාලයක්‌ සාකච්ඡාව කරගෙන යද්දී, යුක්‌රේන් ජනාධිපතිතුමා මට රුසියන් භාෂාවෙන් කියනවා ‘අපි තව එක්‌කෙනෙක්‌ තියාගෙන හතර පාරක්‌ කතා කරන්නේ ඇයි… මම කියන දේ ඔය ජනාධිපතිතුමාට පැහැදිලි කරලා දෙන්න ඔයාට පුළුවන් නේද…’ කියලා…

‘ඒක මට කරන්න පුළුවන්… තානාපති සහ රාජ්‍යතාන්ත්‍රික ක්‍රමවේදය අනුව, ඔබතුමාට විශ්වාස පරිවර්තකයා විදිහට ඔබතුමාගේ පරිවර්තකයා සිටීම තමයි ක්‍රමය…’ කියලා මම කිව්වා… ‘ඔයා අවුරුදු විසි දෙකක්‌ අපේ රටේ ජීවත් වෙන්නේ, ඔබේ රටට වගේම, මේ රටට ආදරේ නිසා. අවුරුදු විසි දෙකක්‌ ඔබට මේ රටේ ඉන්න පුළුවන් වුණේ සහ මේ රටේ ඉහළම පිරිස්‌ අදුරගන්න පුළුවන් වුණේ, අපි සහ ඔබ අතර තියෙන විශ්වාසය නිසා… එහෙම නම් මේ පරිවර්තනයේදී මම ඔබව විශ්වාස නොකරන්නේ ඇයි…?’ කියලා එතුමාගේ පරිවර්තකයා අයින් කළා. ඒ තත්ත්වය මට ලැබුණේ, ඔවුන් සමග අවංකව කටයුතු කරපු නිසා. 2015 අවුරුද්දෙන් පස්‌සෙත්, ඒ තත්ත්වය මට නැතිවුණේ නැහැ… 2015 න් පස්‌සේ, තානාපතිකම මට නැති වුණාට, ඒ සම්බන්ධය සහ විශ්වාසය මට නැති වුණේ නැහැ…

ප්‍රශ්නය – සමහර පිරිස්‌ සඳහන් කරන්නේ, ඔබ රුසියන් සහ යුක්‌රේන් ආණ්‌ඩු සමග එක්‌ව යහපාලන ආණ්‌ඩුව පෙරළීම සඳහා කුමන්ත්‍රණ කරමින් සිටින බවයි…

පිළිතුර – යහපාලන ආණ්‌ඩුව කරන කටයුතු ගැන මට කිසිම සතුටක්‌ නැහැ. මේ ආණ්‌ඩුව පෙරළන්න විදේශ ආධාරයක්‌ ඕනේ කියලත් මම හිතන්නේ නැහැ. පසුගිය ඡන්දයේ ප්‍රතිඵල දැක්‌කාම මේ ආණ්‌ඩුවේ අනාගතය කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන්. අනිත් එක තමයි, යුක්‌රේනය, රුසියාව හෝ චීනය, වෙනත් රටවල ආණ්‌ඩු පෙරළන්න දේශපාලන වශයෙන් මැදිහත් වන්නේ නැහැ. ඒවා බටහිර රටවල ආකෘතින්… එසේ වුවත්, සෝවියට්‌ දේශයේ පැරණි රටවල් අපේ මහින්ද ජනාධිපතිතුමාගේ දේශපාලන දැක්‌මට, ඉතාම විශ්වාසභාවයෙන් කටයුතු කරනවා. වත්මන් ආණ්‌ඩුව පෙරළන්න රුසියාව කටයුතු කරනවා කියලා, ඒකෙන් අදහස්‌ වන්නේ නැහැ.

ප්‍රශ්නය – ඔබේ පවුලේ තොරතුරු කොහොමද…?

පිළිතුර – මට ලාංකික, ආදරණීය බිරිඳක්‌ ඉන්නවා. ඇය උමා වීරතුංග. මට දරුවෝ දෙන්නෙක්‌ ඉන්නවා. පුතාගේ නම ලියොන් වීරතුංග. ඔහුගේ වයස අවුරුදු දහතුනයි. සිතාරා විරතුංග තමයි දියණිය. ඇයට වයස අවුරුදු දහ හතරයි. මට සහෝදරියෝ තුන්දෙනෙක්‌ ඉන්නවා. එයින් එක්‌කෙනක්‌ ඉන්නේ, ලොස්‌ඇන්ජලීස්‌වල. අනිත් දෙන්නා ලංකාවේ ඉන්නවා. ඔවුන් රජයේ සේවකයන්. එෆ්.සී.අයි.ඩි. එක මගේ අක්‌කාව ගෙනහල්ලා ප්‍රශ්න කරලා, ඇය අසනීප වුණා… මාසයක්‌ රෝහල් ගතවෙලා ඉන්න ඇයට සිදු වුණා… (හඬමින් කතා කරයි) මම අක්‌කාට ගොඩක්‌ ආදරෙයි… මට අම්මා වගේ ඉන්නේ එයා… මට ඒ ගැන ගොඩක්‌ දුකයි… මේ ආණ්‌ඩුව කිසිම තේරුමක්‌ නැතුව ඇයගෙන් ප්‍රශ්න කළා… එයින් ඇය මානසිකව ඇද වැටුණා… මේ වගේ පළිගන්න ආණ්‌ඩුවක්‌ ගැන මට තේරුම් ගන්න බැහැ… අපිට දෙන මේ පීඩනය, දැන් ජනතාවටත් ආණ්‌ඩුව දෙනවා… මේ පොලිස්‌ භීෂණයේ භයානකකම ජනතාව දැන් අවබෝධ කරගෙන ඉන්න බව පෙනෙනවා…

ප්‍රශ්නය – ඔබට දැන් වයස කීයද…?

පිළිතුර – මම ඉපදුනේ 1964 වසරේ…

ප්‍රශ්නය – කොයි මොහොතේ හෝ ඔබව අත්අඩංගුවට පත්වීමේ අවදානමක්‌ තිබෙනවා. ඒ ගැන බයක්‌ දැනෙන්නේ නැද්ද…?

පිළිතුර – බය කියන එක තියෙනවා. මාව අත් අඩංගුවට අරගෙන නිර්දෝෂිභාවය ඔප්පු කරන්න යම් කාලයක්‌ ගත වෙනවා. ඒ කාලය තුළ මට පීඩාවක්‌ විඳින්න වෙනවා. එහෙම නැතුව, මෙහෙදී අත්අඩංගුවට අරගෙන හෝ මෙහෙන් පිටමං කරලා, මාව ලංකාවට එවනවා කියන එක ගැන මට කිසිම පීඩනයක්‌ නැහැ… ඒවගේ දේවල් ලංකාවේ ආණ්‌ඩුව කියනවා, මම පත්තර වලින් දකිනවා… ඒවා බලලා, මම හොඳටම හිනා වෙනවා… එච්චරයි…

ප්‍රශ්නය – යුක්‌රේනයේදී ඔබව අත්අඩංගුවට පත්වෙන්නේ නැති බවට ඔබට ලොකු විශ්වාසයක්‌ තියෙන බව පේනවා…

පිළිතුර – ඉතිං, ඩුබායි වලදිත්වත් මාව අල්ලන්න බැරි වුණානේ… මාව අල්ලන්න කියලා යුක්‌රේනයට ආපු, පොලිස්‌ ප්‍රධානියෝ, ඒ වගේම විදේශ ඇමැති මංගල සමරවීර මැතිතුමා ඇතුළු පිරිස ඉන්න හෝටලයේ, ඒගොල්ලෝ කෑම කන තැනම එහා පැත්තේ මම ඉන්නවා… මම ඉන්නේ ඔවුන් දිහා බලාගෙන… එතැන මම ඉන්නෙත් මේ විදිහට, උදයංග වීරතුංග ලෙසයි… කිසිදු වෙස්‌ වලා ගැනීමක්‌ නැහැ… මම ඔවුන්ට දුරකථනයෙන් කතා කරලා, හමුවීම සඳහා අවස්‌ථාවක්‌ ඉල්ලා සිටියා… ඔවුන් ඒ සඳහා අවස්‌ථාවක්‌ ලබා දුන්නේ නැහැ…

Divaina – මම එහා මේසයේ… මාව අල්ලන්න ආපු පොලිසියයි මංගල ඇමතිතුමායි මෙහා මේසයේ… උදයංග දිවයිනට කතාකරයි

http://divaina.com/sunday/index.php/main-news/3068-2018-03-30-06-21-58

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}