සුරක්ෂිත හෙට දිනක් උදෙසා ‘අභිමංසල’

සුරක්ෂිත හෙට දිනක් උදෙසා ‘අභිමංසල’
2012 අගෝස්තු 11දා
අනුරාධපුර නුවර වැව ඉස්‌මත්තේ ඉදිකළ ප්‍රථම “අභිමංසල” රණවිරු සුවහස නිකේතනයේ නිරීක්ෂණ චාරිකාවක පැමිණ රණවිරුවන්ගේ සුවදුක් විමසු මා, එහි පැමිණි ප්‍රථම තනාපති ලෙස සටහන් පොතෙහි අත්සන් තැබීමට ලැබීම භාගයක් ලෙස සලකමි.
උත්තරීතර පීතෘවරයකු ලෙස මාතෘ භූමිය ත්‍රස්‌තවාදයෙන් මුදාගැනීමේ කාර්යයේදී රණබිමේ තම වටිනා ජීවය වායුතලයට මුදාහළ ඒ උත්තරීතර රණවිරු පුතණුවන්ට මෙන්ම ශරීරයේ අඟපසඟ අහිමිවී ආබාධිත තත්ත්වයට පත් වූ දේශයේ පුතණුවන් උදෙසා මහින්ද චින්තනය තුළින් කෘතගුණ දැක්‌වීමේ අදිටනින් මෙම අභිමංසල ව්‍යාපෘතිය ඇරඹුණි. රණවිරුවන්ගේ සුබසාධන උදෙසා රජයක වගකීම දැඩිව අවබෝධ කරගත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ පූර්ණ ආශිර්වාදය මත, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අධීක්‍ෂණය යටතේ මෙම අභිමංසල ව්‍යාපෘතිය ශ්‍රී ලංකා යුද හමුදාව ඉදිකිරීම් කටයුතු කර ඇත.

ශ්‍රී ලාංකිකයන් වන අප, අභිමානවත් ජාතියකැයි ලොවටම හඬනඟා කියන්නෙමු. ශ්‍රේෂ්ඨ වූද, සාඩම්බර වූද අතීතයක් අපට හිමිය. මහ දාගැබ් බන්ඳවා, සහලින් රට ස්වයංපෝෂිත කර, සිහල දේශය සුරපුරක් කරන්නට අතීත රජ දවස වෙහෙස වූවෝ බොහෝය. ශ්‍රී ලංකාව සතුව පැවැති ස්වභාවික සම්පත් හා වාණිජ මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමේ හැකියාව නිසාවෙන් දෝ සියවස් ගණනකට පෙරාතුව විවිධ ආක්‍රමණයන්ට මුහුණ දෙන්නට සිදුවිය. එහෙත්, ඒ සෑම ආක්‍රමණයක දීම තම ජීවිත පරදුවට තබා, එකාවන්ව එක්වී සියල්ලෝ දේශය වෙනුවෙන් සටන් කළහ. එක ධජයක් සෙවණට ලක් දෙරණ ගෙන එන්නට ඇප කැප වී ක්‍රියා කළහ. එහි ප්‍රතිඵලය වූයේ, ලක් ඉතිහාසය තුළ අමරණීය චරිත බිහිවීමය.
මියගිය සහ අතුරුදන් වූ රණවිරුවන් – 29500
ආබාධිත රණවිරුවන් – 10317
ආබාධිත රණවිරුවන්ගෙන් විශ්‍රාම ගැන්වූ රණවිරුවන් – 5165
තවමත් සේවයේ යෙදී සිටින රණවිරුවන් – 4252
රණවිරු සේවා අධිකාරිය මගින්, තනා දුන් නිවාස ප්‍රමාණය – 4758
ආබාධිත රණවිරුවන් වෙනුවෙන් විශේෂ පහසුකම් සහිතව තනා දුන් නිවාස – 1490 ( ජාතික ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය මධ්‍යස්ථානය සහ රණවිරු සේවා අධිකාරිය )

කාලයාගේ ඇවෑමෙන්, අපේ හිමිකම යළිදු හිරු නොබසින අධිරාජ්‍යයේ කිරීටයෙන් මිදී ලබා ගන්නට අපේ හෙළ විරුවන්ට හැකිවිණි. ඉන් ඉක්බිති කලක් රට සාමකාමී විය. එහෙත්, යළිත් සිත් තුළට ජීවිත පිළිබඳව අනියත බියක් දශක තුනකට පෙරාතුව දැනෙන්නට විය. ඒ ඊළාම් රාජ්‍යයක් උදෙසා, කුඩා බිම්කඩක්, දෙකඩ කරන්නට සතුරකු නිර්මාණයවීම නිසාවෙනි.
ලොවම භීතියට පත් කළ ත්‍රස්තවාදී සංවිධාන අතරින්, ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් සටන් වැදුණු එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත කණ්ඩායම සංවිධානාත්මක විය. දරුණු විය. බිළිඳුන්ගේ කිරි සුවඳ, ආගම දහම, තෝරා ගන්නට සංවේදීතාවයක් නොතිබූ නිසාදෝ ජීවිත ගණනාවක් අපට අහිමි කළේය.
පරාජය කළ නොහැකි යැයි උදම් ඇනූ සතුරකු පරාජය කරන්නට එවරද, දේශාභිමානයෙන් ඔද වැඩුණු සිහල පුත්තු එකතු වූහ. ඒ වූකලී රණවිරුවන්ය. දේශයේ මුර දේවතාවුන්ය. තම දරුවන් මව්බිම වෙනුවෙන් “රණවිරුවකු” කිරීමට මවුපියන්ට ගෞරවනීය හැඟීමක් විය. පුතු හමුදා සේවයට එක්වූ පසු දහසක් මවුවරුන් පියවරුන්ගේ නෙත් අග දැල්වුණේ එකම ප්‍රාර්ථනාවකි. ඒ අන්කිසිවක් නොව යුද්ධයේ නිමාවක් දැක, තම ආදරණීය පුතු යළිඳු මවු තුරුලට එන මොහොත දකින්නටය.

නිවසින් පිටව ගිය පුතු, ස්වාමියා, බිරිඳ, යළි නිවසට එනතුරු ඒ වකවානුව තුළ සිත් තුළ පැවතියේ ජීවිතය පිළිබඳ බියකි. එහෙත්, ඒ බිය තුරන් කරන්නට දේශයේ මුර දේවතාවුන්ට හැකිවන්නේ අභිමානවත් නායකත්වයක මඟ පෙන්වීම තුළය. රණවිරුවන් තුළ වූ නොසැලෙන ධෛර්යයේත්, එඩිතරබවේත්, උත්තරීතර ප්‍රතිඵලය ලෙසිනි.
මානුෂීය මෙහෙවරක අවසානය සනිටුහන් වූයේ 2009 වසරේ දී සියලු සිත් සතන් තුළට නව බලාපොරොත්තුවක අරුණළු ගෙන එමිනි. නන්දිකඩාල් කලපුවෙන් එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ අවසන් මොහොත සනිටුහන් වෙද්දී, රණවිරුවන්ට දේශයේ උත්තමාචාරය නිරතුරු පුද කළේ කළ මෙහෙවර අගයමිනි.
රණවිරුවෝ, තම ජීවිත රට ජාතිය වෙනුවෙන් පරදුවට තැබුවේ, නිදහස් නිවහල් ජාතියක් උදාකර දෙන්නටය. සටන් බිමේදී අත පා අහිමි වූ රණවිරුවෝ, ඒ කෙසේ වුවද අනාගතය දෙස වඩාත් සුබවාදීව බැලූහ. ඔවුන් කිසිදා තනි වුණේ නැත.

රට දැය සුරකින්නට පෙරට ආ රණවිරුවන් වෙනුවෙන්, ඔවුනගේ උත්තරීතර කාර්යය අගයනු වස් රජය බොහෝ දෑ ඉටු කළහ. ස්වාමියා රණබිමේ දී අහිමි වූ බිරින්ඳෑවරුන්ට සරණක් වෙමින්, සියලු සුබසාධක කටයුතුහි වගකීම වගකිව යුත්තෝම ඉටු කළහ. “අභිමංසල ද” එවැන්නකි.
දේශය, ජාතිය රැක ගන්නට දිවි හිමියෙන් සටන් කර පූර්ණ වශයෙන් ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන් ජීවිත කාලය පුරාම රැකබලා ගන්නට අනුරාධපුරයේ අක්කර 10 ක දර්ශනීය භූමි භාගයක, ඉදිකළ “අභිමංසල” රණවිරු අයිතියට පත්වූයේ පසුගිය ජූලි මස 26 වනදා, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතිනි. ඒ, යුධ හමුදාපති ලුතිනනල් ජෙනරාල් ජගත් ජයසූරිය මහතාගේ සංකල්පයකට අනුවය.
පූර්ණ ආබාධිත රණවිරුවන් 52 දෙනෙකුට මෙහි නේවාසික පහසුකම් සලසන අතර, ඔවුන්ගේ දුක සැප බලන්නට නිවෙස වෙත පැමිණෙන මවුපියන්ට, ඥාති හිතමිතුරන්ට නිවාස කිහිපයක් ද මේ භූමි භාගය තුළ ඉදිවී තිබේ.

1948 වසරේදී හිරු නොබසින අධිරාජ්‍යයේ කිරීටයෙන් නිදහස් වූ අපි එතැන් පටන් සංවර්ධනාත්මක සමාජ, ආර්ථික, සංස්කෘතික දිශානතියක් කරා ගමන් කළෙමු. ලන්දේසි, පෘතුග්‍රීසි, ඉංග්‍රීසි ආක්‍රමණයන්ගෙන් නිදහස් වූ පසු සැවොම සිතුවේ යළිඳු අරගලයක සේයාවක් වත් ලක් මවට උරුම නොවේවා යනුවෙනි. එහෙත් එකම රටක් තුළ එක ධජයක් සෙවණේහිඳී අප අතර තවත් නොසිතු අරගලයක් ඇති විණි. ඒ ඊළාම් රාජ්‍යයක් උදෙසා සටන් වදින ත්‍රස්ත කණ්ඩායමක් හා ලාංකික උරුමය වෙනුවෙනි.
මීට දශක තුනක ඇවෑමෙන් මූල බීජ උපදවමින් ජීවිත පිළිබඳ අනියත බවක් සිත් සතන් වෙලා ගති. ඉතිහාසයේ කළු පැල්ලම ලෙසින් හැඳින් වූ ‘කළු ජූලිය’ ටත් වඩා ගෙවී ගිය දශක තුනක ත්‍රස්තවාදී අරගල පැවැති වකවානුව කළුම කළු විය. උදෑසන නිවසින් පිටව ගිය පුතු, ස්වාමියා, නැවත නිවසට එන තුරු මවුවරුන්ගේත් බිරින්දෑවරුන්ගේත් සිතෙහි ඇති වූයේ අනියත බවකි. අවිනිශ්චිත තත්ත්වයකි.
ඊළාම් රාජ්‍යයක් උදෙසා සටන් වැදුණු එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් ඉවක් බවක් නොමැතිව සිය ගණන් ජීවිත බිලි ගනිද්දී අභිමානවත් වූ දේශය රැක ගන්නට ජාතිකානුරාගයෙන් ඔද වැඩී ගිය තරුණයන් එක් වූයේ ජීවිත පරදුවට තබමිනි. ඔවුන් දේශයේ මුර දේවතාවන් යැයි හැඳින්වීම අතිශයින්ම සාධාරණය. රණ බිමේ විරුවෝ ඔවුහුය.

වේළුපිල්ලේ ප්‍රභාකරන් නම් ත්‍රස්තවාදි නායකයා තම අරමුණ වෙනුවෙන් සිය කණ්ඩායම් මෙහෙයවද්දී තල් අරණට ශක්තිමත් පවුරක් ගොඩ නගන්නට අපේ රණවිරුවන්ට හැකි විණි. ජය සිකුරු, වඩමාරච්චි සටන යනාදී නාමයන් ආරෝපිතව ඇරැඹි විවිධ මෙහෙයුම් තුළින් අවසානයේදී මානුෂීය මෙහෙයුමක් දක්වා සියල්ල දිගු විය.
රණවිරුවන් වන්නට සිහින මැවුවන්ට මාපිය ආශිර්වාදය නොමඳවම ලැබිණි. ඒ වීර පුතකු ජාතියට දායාද කිරීමේ උරුමය ඇති ආඩම්බරකාර මවක පියකු වන්නටය. ගිනි අවිය අත දැරුවකු රණවිරුවන්ගේ සිත් මානුෂීය විය. එල්. ටී. ටී. ඊ. සංවිධානය ළමා සොල්දාදුවන් පවා ඉදිරියට එවමින් නායකත්වය රැක ගන්නට මාන බලද්දී අපේ රණවිරුවෝ නොබියවම ඉදිරියට ගියහ.
වරින් වර ත්‍රස්තවාදීන් දුර්වල වෙද්දී සාම සාකච්ඡා මේසයට ඔවුහු ගියද යළි සටනට අවතීර්ණ වූයේ ඔවුහුමය. එහෙත් රණවිරුවන් කිසිදා පසු බැස්සේ නැත. වර්තමාන ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අභිමානවත් නායකත්වය තුළ ශක්තිමත් සිතැති රණවිරුවෝ එකාවන්ව එක්වී ඊළාම් සංකල්පය පරාජය කළහ. ඒ දශක තුනක් ජීවිත බිය ගැන් වූ යුද්ධය 2009 වසරේදී නිමාවට පත් කරමිනි.
ඒ වූ ගමන් මෙඟ්දී තරුණ ජීවිත රැසක් අපට අහිමි විය. දේශය බේරා ගන්නට රණවිරුවෝ තම රුධිරය මිහිතලය හා එක් කළහ. ඒ සැබෑ විරුවකු ලෙසිනි. මවුවරුන්ට පුතුන් අහිමි විය.

එහෙත් විරෝධාර පුතකු රටට ජාතියට දායාද කළ හැකි කම නිසාවෙන් ඔවුහු සතුටු වූහ. තවත් සමහර රණවිරුවන්ට තම ශක්තිවන්ත දෑත් දෙක අහිමි විය. රෝද පුටුවට සීමා විය. එනමුත් යුද බිමේදී පෑ සුරුවිරුකම් දෙස බලා සතුටු වුන්නට ඔවුනට හැකි විණ. දේශයේ මුර දේවතාවෝ ලක් දෙරණ යළිඳු එක් සේසත් කළහ. රණවිරුවකු යන සංකල්පය සියලු වෘත්තින් අභිබවා උසස් තලයට එන්නේ එය වෘත්තීයමය හැඟිමක් ලෙසින් නොව දේශානුරාගී හැඟීමක් ලෙසිනි.
දැන් දශක තුනක් සියල්ල බිය ගැන්වූ ත්‍රස්තවාදය අවසන්ය. මේ උදාවී ඇත්තේ සංවර්ධනාත්මක යුගයක ඇරැඹුමයි. කළගුණ සලකන කාලයයි. වඩක්කු වසන්තම් (උතුරු වසන්තය) නැෙඟනහිර නවෝදය ආදිය හරහා උතුරේ ජීවිත යළි ගොඩනැෙඟද්දී දේශයේ මුර දේවතාවන්ට කළගුණ සලකන්නට නායකත්වයට අවැසි විය. රණවිරුවන්ගේ සුබ සාධන කටයුතු වෙනුවෙන් බොහෝ දෑ සිදු වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.
ආබාධිත වූ රණවිරුවන්ට ජීවිතයෙන් කිසිදා පලා නොයන්නට අවැසි ශක්තිය නිර්මාණය වී තිබේ. යුද්ධයේදී රට ජාතිය වෙනුවෙන් දිවි පූජා කළ රණවිරුවන් උදෙසා රණවිරු ස්මාරක තැනෙද්දී රණවිරු සති ක්‍රියාත්මක වෙද්දි වර්තමාන සමාජයෙහි රණවිරුවාට උත්තරීතර ස්ථානයක් නිර්මාණය වී තිබේ. සෑම හදක් තුළම රණවිරුවා යන සංකල්පය වැජඹෙන්නේ එතරම්ම දේශානුරාගී හදට සමීප වූ අන්‍යයන් නොමැති හෙයිනි. ඔවුහු ලක් දෙරණේ වීර පුතුන්ය.
දශක තුනක් පෑරි පෑරී යළිදු වේදනා දුන් යුද්ධය නිමා වූයේ දකුණින් බිහි වූ නායකත්වයක ආශිර්වාදයෙනි. ඒ නිසාවෙන් ඔහු සුලබ දේශපාලනඥයෙකු නොව දුලබ රාෂ්ට්‍ර පාලකයෙකි. ඒ මක් නිසාද යත් යුද්ධය නිමා කළා පමණක් නොව උතුරේ ජන ජීවිතයද දකුණේ ජන ජීවිතයද නංවාලන්නට ප්‍රායෝගිකව පියවර ගනිමින් සිටින දූරදර්ශී තිරසාර ගැටලුවලට විසඳුම් ලබා දෙන්නෙක් නිසාවෙනි. එහෙයින් රට දැය සුරකින්නට අවිය අතට ගෙන යුද වැදී අභිමානවත් පුතුන්ගේ අනාගතය පිළිබඳව ඇත්තේ සුබදායි සිහිනයන්ය. ඒ සිහින එකිනෙක මල් පල ගැන්වෙනු දක්නට ලැබීම සැබවින්ම ආඩම්බරයකි.

“ශ්‍රේෂ්ඨ කීර්තිය යනු කිසිදා නොවැටී සිටීම නොව වැටෙන සෑම අවස්ථාවකම නැවත නැගිටීම” යැයි සාමය පිළිබඳ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබු නෙල්සන් මැන්ඩෙලා වරක් ප්‍රකාශ කළේය. මේ අපූර්ව අයෝමය ශක්තිය ශ්‍රී ලාංකිකයන් වන අපටද හිමිය. ඒ බැව් නූතනයේදී සාධාරණීකරණය කළේද අන් කවරකුවත් නොව රණවිරුවන්මය. එවන් වූ ශක්තියක් අභිමානයක් දායාද කර ලෝක සිතියමේ යළිඳු වතාවක් දේශානුරාගී දේශාභිමානි ජාතියක තතු සනිටුහන් කරන්නට දායක වූ දේශයේ රණවිරුවාණන් වෙනුවෙන් පුද දෙනු ලැබූවකි, “අභිමංසල”
අනුරාධපුර නුවර වැව ආසන්නයේ “අභිමංසල” ඉදිකරන්නට අත්කරගත් භූමි භාගය රු. මිලියන 200 කි. යුධ හමුදා ඉංජිනේරු බලකාය මගින් වසරක දී මෙහි ඉදිකිරීම් කටයුතු නිම කළ අතර, මධ්‍යස්ථාන ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් මිලියන 230ක් වැය වුණි.
“අභිමංසල” රණවිරු පරිශ්‍රය තුළ, එක්තැන් වූ ආබාධිත රණවිරුවන් සඳහා සයනාගාර 8 ක්ද, මොළයට හානි වූ රණවිරුවන් වෙනුවෙන් නිවාස 5 ක්ද, භෞත චිකිත්සක වෛද්‍ය පර්යේෂණාගාර, පුස්තකාල, ක්‍රීඩා මධ්‍යස්ථාන, පිහිනුම් තටාක ආදියෙන් සමන්විතය. එවන් වූ පහසුකම්වලින් සපිරි “අභිමංසල” තුළ “විලා” නිවාස ඉදිවී තිබේ. එක් “විලා” නම් කළ නිවාසයක් වෙනුවෙන්, රුපියල් මිලියන 5ක් පමණ වැය කර තිබේ. කොටේජ් සඳහා රුපියල් මිලියන 3.5 ක් වැය වී ඇත.
මෙවන් පහසුකම්වලින් සපිරි ඊළඟ රණවිරු නිවාස වයඹ පළාතේ ඉදිකිරීමට මේ වනවිට රත්නපුර මැණික් ව්‍යාපාරිකයන්ගේ සංගමය අනුග්‍රහ දක්වන්නට සැදී පැහැදී සිටියි.
අද රණවිරුවන්ට සමාජය තුළ උත්තරීතර තත්ත්වයක් උදාකර දී ඇත්තේ එදා ඔවුන් දිවි පරදුවෙන් කළ සේවාව අනුපමේය නිසාවෙනි. දේශය, ජාතිය වෙනුවෙන් තම ජීවිතය ද පරදුවට තබා සටන් බිමට වැද, මානුෂීය මෙහෙවරක නියැලී, දේශයට සාමය උදාකර දුන් රණවිරුවෝ සැබවින්ම දේශයක් නංවාලූ, දේශයේ මුරදේවතාවන් වන්නේ එහෙයිනි.

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}