ලංකාවේ හැඩ බලන්න නැගෙනහිර යුරෝපයෙන්..

නැගෙනහිර යුරෝපානු සංචාරකයන් රැගෙන GullivAir සහ LOT ගුවන්යානා ලංකාවට..
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) නිකුත්කළ නිවේදනයක් මඟින් පවසන්නේ, සංචාරක තහනම හරහා “ඔමික්‍රෝන් ප‍්‍රභේදය” ගෝලීය පැතිරීම වැලැක්විය නොහැකි බව යි. අද කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප‍්‍රභේදය නිසා ජනතාවගේ ජීවිත රැකගැනීම සඳහා නව සෞඛ්‍ය නිර්දේශ අත්‍යාවශ්‍ය වන්නාක් මෙන්ම, රටක ජීවනාලිය වන ආර්ථිකය රැක ගැනීමද අත්‍යවශ්‍යම කරුණකි. එසේම රටෙහි නායකයන් පවසන්නේ අපව යළි ප‍්‍රකෘති තත්ත්වයට පත් කොට ඉතා ඉක්මනින් විදේශ විනිමය රටට ලබා ගත හැකි ආදායම් මාර්ගය ලෙස ඉතිරිව ඇත්තේ සංචාරක කර්මාන්තය බවයි. එය එදා සාමාන්‍යයෙන් වසරකට රටට ඩොලර් බිලියන 4.4 ක ආදායමක් ලබා දෙන්නට සමත් වූවකි. විසිපන් ලක්ෂයකට වැඩි පිරිසකට ඍජුව හෝ වක්‍රව ජීවන මාර්ගයක් වූවකි. එහෙත් මෙම වසරේ නොවැම්බර් අවසානයේදී රටට පැමිණි ඇති සංචාරකයන් ප්‍රමාණය 99,464 ක් වැනි ඉතා සුළු පිරිසකි. ඊට ප්‍රධාන හේතුව බලධාරීන්ගේ සංචාරක නියාමන රෙගුලාසි මෙන්ම අසාර්ථක කලමනාකරණය බව දැනටමත් සනාථ කර අවසන්. එසේ නමුත් ඊට සුදුසු දක්ෂ නිලධාරීන් පත්කර තිබේදැයි පවා නොසිතීමින්, එම ආදායම ඩොලර් බිලියන 10 දක්වා වැඩි කර ලංකාවේ විශාලතම ව්‍යාපාර ක්ෂේත්‍රය බවට පත් කරන්නට වත්මන් ජනපතිතුමාගේ තවත් අධිෂ්ඨානයකි.
නැගෙනහිර යුරෝපා රටක් ලෙස පෝලන්ත රාජ්‍යයේ අගනුවර වෝර්සෝ සිට ශ‍්‍රීලංකාවේ කටුනායක ගුවන් තොටුපල කරා සතියකට සෘජු ගුවන් ගමන් වාර 03 ක් පැමිණීම මෙරටට සංචාරකයින්ගේ පැමිණීම වැඩිවීමට හේතුවක් වනු ඇතයි අප බලාපොරොත්තු වනවා. එමෙන්ම ශ‍්‍රී ලාංකිකයින්ට ද පෝලන්තයට හෝ වෙනත් ඕනෑම යුරෝපා රටකට සුව පහසුවෙන් යාමට ගමනාන්ත රැසක් ඇති ලොට් පෝලිෂ් ගුවන් සේවය අවස්ථාව උදාකර තිබෙනවා. ශීත සෘතුවත් සමග ඇරඹුණු මෙම සංචාරක සමයේ දී LOT ගුවන් සේවය, 2022 මාර්තු දක්වා සතියකට සෘජු ගුවන් ගමන් වාර 03 ක් වෝර්සෝ සිට කොළඹ දක්වා පියාසර කිරීමට නියමිතව ඇත. ඒ සදහා ලොට් පෝලිෂ් තම ගුවන් සේවය බෝයින් 787 ඩ්‍රීම් ලයිනර් වැනි පුළුල් බඳ සහිත ගුවන් යානා භාවිතයට ගනු ලබයි.
පසුගිය 07 වෙනිදා කටුනායක දී ගුවන් තොටුපල කාර්යමණ්ඩලය විසින් උණුසුම්ව පිළිගත් මොහොතේ ලැබූ ආගන්තුක සත්කාරය පිලිබඳ අත්දැකීම් සංචාරකයන් ට කිසිදිනක අමතක නොවනු ඇතයි අප බලාපොරත්තු වෙනවා. එවගේම ලංකාව සමඟ සම්බන්ධතාවය තවදුරටත් වැඩිදියුණු කිරීමට සහ දේශීය සංචාරක හා ආගන්තුක සත්කාර අංශයට පිළිගැනීමක් ලබා දීමට සහය වීම පිළිබඳව සමස්ත සංචාරක ක්ෂේත‍්‍රයම කොරෝනා වසංගතය නොසළකා ලබාදෙන සහයෝගයට විශේෂයෙන් LOT පෝලන්ත කණ්ඩායමට අපි ස්තූතිවන්ත වෙමු. එසේම මෙම ගුවන්යානාවේ වැඩි ආසන ප්‍රමාණයක් දැනටමත් වෙන්කර ඇති පෝලන්ත රාජ්‍යයේ “Itaka” සහ “Rainbow” යන සංචාරක සමාගම් දෙක ලබන ජනවාරි සිට මාර්තු අතර කාලයේදී මෙරටට සංචාරකයන් රැගෙන මූලිකත්වයෙන් කටයුතු කරන බව විශේෂයෙන් සදහන් කර යුතුය. ඒ මක්නිසාද එම ආයතන දෙක දැනටමත් පෝලන්තයේ සංචාරකයන් යවන විශාලතම සංචාරක සමාගම් නිසයි.
ඒ අතර මෙරට සංචාරක බලධාරීන්ගේ කිසිදු සහයෝගයක් හෝ නොමැතිව බල්ගේරියානු GullivAir ගුවන් සමාගමේ Airbus A330-200 ගුවන්යානාව නොවැම්බර් 29දා බල්ගේරියාවේ අගනුවර සොෆියා නගරයේ සිට බල්ගේරියානු සහ රුමේනියානු සංචාරකයන් 98 ක් රැගෙන මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපලට ගොඩ බැස්සේය. ශ්‍රී ලංකාවට පැමිණි පළමු GullivAir ගුවන් යානාව මත්තල ගුවන් තොටුපලේ කාර්ය මණ්ඩලය උත්සවාකාරයෙන් පිළිගත්තේ, ගුවන් සේවා සහ අපනයන සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක ඇමතිතුමා ලබාදුන් මග පෙන්වීම යටතේය. එසේ එම ගුවන් යානාව මාලදිවයින හරහා පැමිණි නමුත් ඉදිරියේදී සතිපතා සංචාරකයන් රැගෙන ඒමට සැලසුම් කර ඇත. එහිදී විශේෂයෙන් සදහන් කල යුත්තේ බල්ගේරියානු හා රුමේනියානු සංචාරක ඒජන්තවරුන් 46 දෙනෙක් පැමිණීමය. ඔහුන් යාල, නුවරඑළිය, මහනුවර, දඹුල්ල, සීගිරිය, පොළොන්නරුව යන සංචාරක ස්ථාන නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. ඊට අමතරව සංචාරකයන් සදහා විවේක ගැනීමට සුදුසු මුහුදුබඩ හෝටල් අධීක්ෂණ කිරීමට අමතක නොකළේය. එහිදී බල්ගේරියානු “Onex Tour” සහ රුමේනියානු “Karpaten” යන සංචාරක සමාගම් මෙම නියෝජිතයන් රැගෙන ඒමට සියලු කටයුතු සුදානම් කරන ලදී. ඔහුන් තුර්කිය, ඊජිප්තුව, ටියුනීසියාව, මාලදිවයින සහ මොරොක්කෝව යන රටවල් සදහා එරට සංචාරකයන් යවන ප්‍රධාන සංචාරක ආයතනයි.
මේ කිසිදු යහපත් ක්‍රියාවක හොඳක් නොදකින විරුද්ධ පාර්ශවයන් දිගින් දිගටම නගන ලද චෝදනා හමුවේ නැවතත් සංචාරකයන් ගෙන්වීම නතර කිරීමට බලධාරීන් කුරුමානම් අල්ලන බවට කටකතා පැතිරෙයි. ඒවා සනාථ කරමින් පසු ගිය 30 වෙනිදා කොරෝනා එන්නත් ලබා නොගත් ගුවන් සමාගමේ සේවකයකු මෙරට බලධාරීන්ගේ නියෝග මත එහිදී අනකරන ලද හෝටලයකට රැගෙන ගියේ, බල්ගේරියානුවන්ගේ අකමැත්ත මෙන්ම එහි සංචාරකයන්ගේ විරෝධය ද කිසිදු අයුරින් සැලකීමට නොගෙන බව කණගාටුවෙන් කිව යුතුය. එසේ ඉදිරියට ද සංචාරකයන් සදහා පීඩාකාරී නියාමනය පැනවීමට නැවතත් සිදුවීම මත රට තුළ සංචාරක ව්‍යාපාරයේ හා ඒ ආශ්‍රිත කර්මාන්තකරුවන් ලක්ෂ 25 කට ආසන්න පිරිසකට යම් තරමකින් හෝ සහනයක් සැලසීමට තිබෙන අවස්ථාව නැවතත් මගහැරී යාමට ඉඩ ඇති නමුත් PCR වෙළදාම, නිරෝදාන වෙළදාම තම හිතවතුන් ට ලබාදීම ද වැළැක්විය නොහැක.
එදා ගුවන්තොටුපල වසාතබාගෙන සිටිය කාලයේදී “සංචාරක බුබුල” යටතේ පසුගිය වසරේ දෙසැම්බර් සිට මත්තල ගුවන් තොටුපලට පැමිණි Ukraine Airlines, Sky Up Airlines, SCAT Airlines සහ Air Astana සමාගම් යුක්රේනියාවේ හා කසාක්ස්තානයේ සිට සංචාරකයන් රැගෙන ආවේ මත්තල ගුවන්තොටුපල ටය. එදා ශ්‍රී ලංකාවේ බලධාරීන් පනවනු ලැබූ පීඩාකාරී සංචාරක නියාමනය හේතුවෙන් රටට පැමිණි සංචාරකයන් ගෙන් වැඩි පිරිසක් පිටව ගියේ, ඔහුන් හෝටල්වල සිරකරුවන් සේ රදවාගෙන සිටීය බවට අසතුටුදායක පුවතක් සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ද කරමිනි. අවසානයේ දී එම ගුවන් සමාගම් හතරම තම ගුවන්ගමන් අවලංගු කල අතර ඊට මුලික හේතුව “හෝටල් තුල සිරකර තැබිම” වැනි නොයෙකුත් පීඩාකාරී සංචාරක නිර්දේශ බව හොදින් දන්නේ, සංචාරකයන් මෙරටට රැගෙන ආ එම ආයතන බව කිවයුතුය.
එවැනි අමිහිරි මතක සටහන් තිබුණ ද මෙවරත් දෙසැම්බර් 28 සිට මත්තල ට සතියකට දෙපාරක් පැමිණීමට Sky Up Airlines සියලු කටයුතු සූදානම් කර අවසන්ය. ඒ අතර Air Astana දෙසැම්බර් 01 දා සිට TUI Kazakhstan සමග එකතුව සතියකට ගමන් වාර පහ බැගින් කටුනායක ගුවන්තොටුපලට සතියකට සංචාරකයන් 750 ක් රැගෙන ඒමට පටන්ගෙන ඇත. ඒ අතර මොස්කව් සිට ශ්‍රීලන්කන් ගුවන් යානාව සතියකට ගමන් වාර දෙකක් සහ එරෝෆ්ලොට් සතියකට ගමන් වාර දෙක ඇතුළුව මාසයකට රුසියානු, කසාක්ස්තානු, යුක්රේනියානු සංචාරකයන් 8,000 ක් පමණ පැමිණෙනවා ඇත. දැනටමත් “රුසියානු සංචාරක බුබුළ” සංකල්පයට යටතේ පමණක් රුසියානු, යුක්රේනියානු, කසකස්තානු සංචාරකයන් 12,000 කට ආසන්න පිරිසක් මේ වසරේ පැමිණ ඇත.
එදා යුක්රේනියානු සංචාරකයන් මෙරටට කොරෝනා බෝකර බවට විපක්ෂය විසින් මනංකල්පිත චෝදනා එල්ල කරමින් සංචාරක ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට දරන උත්සාහය පසකින් තබා, මොස්කව් – කොලඹ ඍජු ගුවන් ගමන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම හා රුසියානු එරෝෆ්ලොට් ගුවන් සමාගම ආරම්භ කිරීම මෙන්ම යුක්රේනියානු SkyUp ගුවන් සමාගම කිව් – කොලඹ ගුවන් ගමන් සහ Air Astana අල්මති – කොලඹ ගුවන් ගමන් ආරම්භ කිරීම ද සංචාරක මණ්ඩලයේ බලධාරීන්ට කුතුහලයට තුඩුදුන් කරුණක් බව කවුරුත් දන්නා රහසකි. කවූරුන් කෙසේ විරුද්ධ වුවත් මේ මොහොතේ රටට සංචාරකයන් පැමිණීම නතර නොකළ යුතුය. මොකද පසුගිය දින කසාක්ස්තාන් රජය එරට පුරවැසියන්ට ඊජිප්තු සංචාරය තාවකාලිකව තහනම් කිරීම නිසා, කසකස්තාන ඊජිප්තුව අතර සියලු ගුවන් ගමන් නතර කරන ලදී. එසේම ඉදිරි සතියේදී රුසියාව මෙන්ම යුක්‍රේනය ද එවැනිම පියවරක් ගැනීමට බොහෝ දුරට ඉඩ ඇත. එවැනි වාතාවරණයකදී එම සංචාරකයන් ද පැමිණෙන්නේ ශ්‍රී ලංකාවට බව ජනාධිපතිවරයා පත්කරන ලද අදක්ෂය සංචාරක බලධාරීන් ද හොදින් අවබෝධ කර ගතයුතුය.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සම්පුර්නයෙන්ම පුද්ගලික අංශය සතුව පවතින අතර එයින් ලැබෙන බදු මුදල් හිතුමතේට වියදම් කිරීම මෙරට සැම රජයක්ම සිදුකල බව පිළිගත යුතුය. අදටත් රුසියානු රාජ්‍යය ඇතුළු යුරෝපා රටවලට පැමිණෙන රාජ්‍ය සේවකයින් සඳහා දිනකට රුපියල් ලක්ෂයකට (500 $) වැඩි මුදලක් ගෙවීමට චක්‍ර ලේඛන අනුව ශ්‍රී ලංකා රජය බැදී සිටියි. ඒ නිසාම පසුගිය දින අතිගරු ජනාධිපතිතුමා අවම පිරිසක් කැටුව නිව්යෝක් නුවර පවත්වනු ලැබූ එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගී විය. එය අගය කලයුතු හොද ආදර්ශයක් වන්නේ, ජනධිපතිතුමා පමණක් නොව රජයේ අනිකුත් මැතිඇමතිවරුන් මෙන්ම රජයේ උසස් නිලධාරීන් ද ජනධිපතිවරයා ආදර්ශයට ගත්කල පමණි. මොකද, අද කුඩා සංචාරක වැඩසටහන් වලට පවා, රාජ්‍යතාන්ත්‍රික සංචාර ලෙස රටෙහි ජනතාවට හඟවමින්, තම ගෝලයන් රොත්ත පිටින් රැගෙන සති ගණන් රට සවාරි ගසන්නේ සංචාරක කර්මාන්තයේ නියුතු ශ්‍රමිකයන්ගේ බදු මුදලින් බව අප පිළිගත යුතුයි. එම බලධාරීන් කොරෝනා වසංගත නිසාවෙන් රටෙහි ආර්ථිකය කඩාවැටී ඇති මොහොතේ හෝ ජනාධිපතිවරයා ආදර්ශයට ගන්නා දිනය උදා වනු ඇතයි, රටෙහි ජනතාව තවදුරටත් බලා සිටින්නේ ඊලග ජන්දයට දින ගණන් කරමින් බව එම මැති ඇමතිවරුන් අවබෝධ කරගත යුතුය.
කොරෝනා ඔමික්‍රෝන් ප‍්‍රභේදය නොව ලෝක යුද්දයක් ආවත් ලක්‍‍බිමේ සංචාරක බලධාරීන් තමන්ගේ සාක්කුව පුරවාගැනීමට පසුබට නොවන බව නැවතත් පෙන්නුම් කරයි. ඒ බව සනාථ කරමින් ලබන වසරේදී පුද්ගලික අංශය සමාගම් තම සේවාවන් ලොවට හදුන්වා දීමට අනිවාර්යෙන්ම සහභාගී විය යුතු සංචාරක ප්‍රදර්ශන 16 ක් සදහා අනවශ්‍ය දේශපාලකයින් හා ගෝලයන් සමග බලධාරීන්ට රට රවුම් ගැසීමට ගමන් වියදම් සමග රුපියල් 631,000,000 මුදලක් වියදම් කිරීමට ඇස්තමේන්තු කර ඇති බව පසුගිය දින සභාපතිනිය විසින්ම අදාළ ලේඛන ප්‍රසිද්ධයට පත්කිරීම අපගේ විමතියට කරුණක් විය. එහිදී ඇය පෙන්වා දෙන්නේ මෙම 2021 වසරේදී එතෙර පැවැත්වුණු සංචාරක ප්‍රදර්ශන 5 කට සහභාගී වීමට බලධාරීන්ගේ ගමන් වියදම් සමග රුපියල් 120,542,316 වියදම් කර ඇති අතර ඊට 75 කට ආසන්න පිරිසක් රජයේ වියදමින් සහභාගී වී ඇති බවයි. එසේ නමුත් මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට බලපොරොත්තු වන රටෙහි ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් හා අදාල රටෙහි සංචාරක ප්‍රවර්ධන කටයුතු භාරව සිටින සංචාරක මණ්ඩලයේ එක් නිලධාරියෙක් සහබාගි කරවීමට පමණක් මහජන බදු මුදල් වියදම් කිරීම හොදටම ප්‍රමාණවත් බව අප හොදින් දන්නා කරුණකි. ඊට හොද නිදසුනක් ලෙස අප මතක්කර දිය යුත්තේ, 2015 පෙර ආර්තික කටයුතු භාර අමාත්‍යවරයා මෙන්ම එදා සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා බව කිව යුතුය. ඔහුන්ගේ ධුර කාලයේදී අත්‍යවශ්‍ය රාජතාන්ත්‍රික ඉහළ හමුවකට හැර මෙවන්‌ අනවශ්‍ය කිසිදු ගමන් සිදු නොකිරීම අද රජයේ සියලු නිලදාරීන් ආදර්ශයට ගතයුතුය.
ඒ කෙසේ වුවද ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අපට යළි ගොඩ ගත නොහැක්කක් නොවේ. මක්නිසාද යත් මාලදිවයින පවා අප රට අභිබවා විශාල ලෙස සංචාරක ව්‍යාපාරයෙන් ආදායම් ලබන තත්ත්වයට පත්ව ඇත. මේ කොරෝනා භීෂණය තුළ පවා, රුසියානු, ඉන්දියානු, යුක්රේනියානු හා කසාක්ස්තානු ජාතීන් මාලදිවයිනට වැඩියෙන් පැමිණ ඇත. මෙම වසරේ නොවැම්බර් 29 වෙනිදා දක්වා මාලදිවයිනට සංචාරකයන් 1,153,013 පැමිණ ඇත. ඊට සාපේක්ෂව අප රටට සංචාරකයන් ගේ පැමිණීම 9% ක් වන අතර එහි සංචාරක හොටල් 100% ක්ම වසර අවසානය තෙක් විදේශිකයන් ගෙන් පිරී ඉතිරි ගොස්ය. එම පිරිස අතරින් රුසියානු, යුක්රේනියානු හා කසාක්ස්තානු සංචාරකයන්ගේ එකතුව 260,000 ආසන්නය.
එසේ නමුත් 2021 නොවැම්බර් අවසානයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සමස්ථ සංචාරක පිරිස 99,464කි. ඒ අනුව අපට වඩා 12 ගුණයක් මාලදිවයිනට සංචාරකයන් පැමිණ ඇත. මෙහි පැමිණි ඒ පිරිස අතරින් ද 42% ක්ම නිරෝදනය සදහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු, පකිස්ථානු, ඉන්දුනීසියානු, බංගලාදේශ ආදී රටවල් වලින් මෙහි පැමිණි ශ්‍රමිකයන් මෙන්ම ලාංකික දිත්වපුරවැසියන් බව කිව යුතුය. ඒ පිරිස නොසළකා හරින්න විට, මේ වසරේදී සැබෑ සංචාරකයන් පැමිණ ඇත්තේ 60,000 වඩා අඩු ප්‍රමාණයක් බව සංඛ්‍යාලේඛන පෙන්නුම් කරයි. එදා සංචාරක මණ්ඩලය රටට පොරොන්දු වුයේ සංචාරකයන් මිලියන 1.5 ක් මෙම වසරේදී රැගෙන එන බවයි. නමුත් එදා මෙන්ම අදත් බලධාරීන් පනවන පීඩාකාරී සංචාරක නියාමන, PCR වෙළදාම හා නිරෝදාන වෙළදාම වැනි හේතුන් නිසා මෙතෙක් රටට සැබෑ සංචාරකයන් පැමිණ ඇත්තේ දිනකට සාමාන්‍ය 250 කට අඩු ප්‍රමාණයකි. සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි හෝටල්වල කාමර 42,000 පමණ තිබෙන රටට, කෙසේවත් එය ප්‍රමාණවත් නොවන බව නායකයන්ට නොවැටහෙන නමුත්, සත්‍යයයි එය බව අප වටහාගත යුතුය. අද සාර්ථකව සංචාරක කර්මාන්තය කලමනාකරණය කරන මාලදිවයිනට මේ වසරේ සංචාරකයන් පැමිණීම දිනකට සාමාන්‍ය 3,452 ක් බව ද පෙන්නුම් කරයි.
කාලයෙන් කාලයට කොරෝනා වසංගතයේ අලුත් ප්‍රභේද ලෝකයේ බොහෝ රටවලින් හදුනාගෙන ඇති නමුත් මෙතෙක් මෙරට පැමිණි රුසියානු, යුක්රේනියානු හා කසාක්ස්තානු සංචාරකයින්ගෙන් සියයට 99.6% ක්ම නිරෝගී වුවෝ බව අපට සනාථ වී ඇත. එසේම කොරෝනා වසංගත සමයේ වුවත් මාලදිවයින රජය, තුර්කි රාජ්‍ය මෙන්ම ඊජ්ප්තුව රජය ගත් නිවරදි තීන්දු තීරණ, අධ්‍යනය කර 2022 සීතල කාලයේදී හෝ මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීමට අප රජය බලාපොරොත්තු වන්නේ නම්, අවම වශයෙන් දැනට ලබාදී ඇති සෞඛ්‍ය නිර්දේශ වෙනස් නොකර බුද්ධිමත්ව සංචාරක හිතකාමී නිර්දේශ පමණක් ලබාදීමට රජයට කාලය උදාවී ඇත.
– උදයාංග වීරතුංග
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති.
ලංකාවේ හැඩ බලන්න නැගෙනහිර යුරෝපයෙන්..

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}