ඇන්ටනෝව් 32 ගුවන්යානා යුක්රේන්මාස්ට භාර දුන්නේ මගේ අනුමැතිය ඇතිවයි

ඇන්ටනෝව් 32 ගුවන්යානා තුනක් අලුත්වැඩියාවට යුක්රේන් මාස් ආයතනයට භාර දුන්නේ මගේ අනුමැතිය ඇතිවයි

හිටපු ජනපති

දේශපාලන පළි ගැනීම් විමසන ජනපති කොමිසම

ශ්‍රී ලංකා රජය සතු වූ ඇන්ටනෝව් 32 වර්ගයේ ගුවන් යානා තුනක් අලුත්වැඩියා කිරීමට රුසියාවේ යුක්රේන් මාස් ආයතනයට යහපාලන රජය සමයේදී භාරදී ඇති බවත්, තමාගේ අස්සනින් යුත් කැබිනට් පත්‍රිකාවකින් ඊට අනුමැතිය ලැබී ඇති බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන පළි ගැනීම් විමර්ශන ජනපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පෙරේදා (19) පිළිගත්තේය.

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් බොරු සාක්ෂි ඉදිරිපත් කර නඩු පවරා යහපාලන රජය සමයේදී දේශපාලන පළි ගැනීම් කළ බවට සඳහන් කරමින් හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා පැවරූ නඩුවේ සාක්ෂි දෙමින් හිටපු ජනපතිවරයා එසේ පැවැසීය.

යුක්රේන් මාස් ආයතනය සමඟ මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවක් ශ්‍රී ලංකා රජය විසින් කර නොමැති බවට සඳහන් කරමින් යහපාලන ආණ්ඩුව දිගින් දිගටම බොරු චෝදනා එල්ල කළ බව උදයංග වීරතුංග මහතා සිය පැමිණිල්ලෙන් සඳහන් කර තිබිණි.

උදයංග වීරතුංග මහතාගේ පැමිණිල්ල අනුව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාක්ෂිකරුවකු කර තිබූ අතර ඒ අනුව මේ සාක්ෂිය ලබා දුන්නේය.

යහපාලන රජයේ දූෂණ විරෝධී කමිටුව, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පිළිබඳ නීතිඥ දක්ෂිත දේවපුර මහතා අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද පැවැසීය.

‘මේ කොමිසමේ සාක්ෂිදීමට මට සිතාසියක් ලැබුණා. මේ පැමිණිල්ල කළ උදයංග වීරතුංග මහතා මා දන්නවා. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ උදයංග මහතා ජනපති කාර්යාලයට ආවා. මා එම වකවානුවේ සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළා. ඒ කාලයේ මා රුසියාවේ සංචාරයේ යෙදුණා කියලා මට මතක නෑ. 2010 සහ 2015 කාලයේදී රුසියාවට යන්නත් ඇති. නමුත් මට හරිහැටි මතක නෑ. උදයංග මහතාගේ පවුලේ උදවිය සමහර විට හමුව ඇති. රාජකාරීමය වශයෙන් උදයංග මහතා සමඟ සම්බන්ධයක් තිබුණා කියලා මට මතක නෑ.

2006 වසරේ මිග් ගුවන් යානා මිලදී ගැනීම පිළිබඳව යහපාලන රජය විමර්ශනය කළා කියලා දැනුවත්භාවයක් නෑ. 2015 පසුව දූෂණ විරෝධී ලේකම් කාර්යාලයක් තිබුණා. ඒක තිබුණේ අරලියගහ මන්දිරයේ. හිටපු අගමැතිගේ ප්‍රධානත්වයෙන් එය පැවැතියා. ඊට මගේ හෝ මගේ කාර්ය මණ්ඩලයේ සම්බන්ධයක් නෑ.

මාධ්‍ය ඔස්සේ යම් දැනුවත්භාවයක් ලැබුණා ද කියලා මට මතකයක් නෑ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2006 දී මිග් යානා ගත්තාද කියලා මගේ දැනුවත්භාවයක් නෑ. කැබිනට් ඇමැතිවරයකු ලෙස හෝ දැනුවත් නෑ. ඒ කාලයේ මම කෘෂිකර්ම හා මහවැලි ඇමැති ලෙස කටයුතු කළා. ආරක්ෂක අමාත්‍යාංශයෙන් එන කැබිනට් පත්‍රිකා ගැන දැනුවත් නෑ.

යුද්ධ කාලයේ බඩු භාණ්ඩ ගැනීම පිළිබඳ උනන්දුවක් දැක්වූයේ නෑ. යුද්ධය ගැන උනන්දු වී හිටපු ජනපති කාලේ යුද්ධය හොඳින් කිරීම පිළිබඳ අපේ පැහැදීමක් තිබුණා. ඒ නිසා අනවශ්‍ය කටයුතු ගැන ඇඟිලි ගහන්න වුවමනාවක් තිබුණේ නෑ. මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටුවීම ගැන දැනුවත් බවක් තිබෙනවා. නමුත් ඒ කොට්ඨාසය කළ කටයුතු ගැන මා දන්නේ මාධ්‍යයෙන් පළ වූ දේවල් පමණයි. 2018 දෙසැම්බර් මාසේ නීතිය හා සාමය අමාත්‍යාංශය මගේ අතට ආවා. එයින් පසුව එම දූෂණ විරෝධී කමිටුව අහෝසි කරන්න කටයුතු කළා.

අපි ද්වි-පාර්ශ්වික ආණ්ඩුවක්. ඒ නිසා අනික් පාර්ශ්වයේ කටයුතු ගැන මාගේ ඇඟිලි ගැසීමක් තිබුණේ නෑ. එෆ්. සී. අයි. ඩී. එක ගැන මහජන විවේචන තිබුණා. ආණ්ඩුව ඇතුළෙත් විවේචන තිබුණා. මටත් විවේචන තිබුණා. ඒ නිසා මා පොලිසිය භාර ගත් පසු එය නතර වුණා කියලයි මගේ හැඟීම. මූල්‍ය අපරාධ කොට්ඨාසයේ කටයුතු හරියාකාරව සිදු නොවන බවට ජනතා විවේචන ආවා. එතැන මූල්‍ය අක්‍රමිකතා සිදු වුණා. දේශපාලන පළිගැනීම් තිබුණා කියලා මහජන මතයක් තිබුණා.’

කොමිසම:

මූල්‍ය අපරාධ කොට්ඨාසයේ කටයුතු ගැන යම් යම් අය ඔබට පැමිණිලි කළා ද?

හිටපු ජනපති:

මූල්‍ය අපරාධ කොට්ඨාසය නීත්‍යානුකූල නෑ කියලා විජේදාස රාජපක්ෂ මහතා පවා කිව්වා. ඒ නිසා ඒක අභාවයට ගියා කියලයි මගේ හැඟීම. එෆ්. සී. අයි. ඩී. ගැන පෞද්ගලික පැහැදීමක් මට තිබුණේ නෑ.

කොමිසම:

දූෂණ මර්දන කාර්යාලය පැවැත්වූයේ ජනාධිපති කාර්යාලයෙන් මුදල් පිට් පොකට් ගහලා ද?

හිටපු ජනපති:

නෑ. මා දන්න විදියට මුදල් වෙන් කළේ අනෙක් පාර්ශ්වයෙන්.

කොමිසම:

ඒ නිසාම තමයි මා කිව්වේ පිට් පොකට් ගැහුවා කියලා. දූෂණ විරෝධී කමිටුවට මුදල් වෙන් කළේ ජනපති කාර්යාලයෙන්.

හිටපු ජනපති:

මා ඒ ගැන දැනුම්වත් නෑ.

කොමිසම:

2015 ජනවාරි මස 21 වැනි දින හිටපු අගමැතිවරයාගේ කැබිනට් පත්‍රිකාව අනුව රුපියල් මිලියන 7.5ක් ජනපති කාර්යාලයෙන් වෙන් කර තිබුණා.

හිටපු ජනපති:

මා ඒ ගැන දැනුම්වත් නෑ.

කොමිසම:

ජාතික විධායක සභාව ඔබ ජනපතිවීමට පෙර පිහිටවූවක් බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි දෙමින් කියා සිටියා.

හිටපු ජනපති:

එහෙම එකක් පිහිටුවූවා කියලා මගේ දැනුම්වත්භාවයක් නෑ. එහෙම ගිවිසුමක් හෝ එකඟතාවක් නෑ.

කොමිසම:

මේ දූෂණ කාර්යාලයේ කමිටු තිබුණා. නිලධාරීන් 44ක් සේවය කරනවා. මේ කමිටුව නීත්‍යනුකූල ද?

හිටපු ජනපති:

ඔව්. ඔක්කොම රැස් වූයේ අරලියගහ මන්දිරයේ මගේ දැනුම්වත්භාවයක් නෑ.

කොමිසම:

මේ කමිටුව සී. අයි. ඩී.යට උපදෙස් දී තිබෙනවා. අපරාධ නඩු මෙහෙයවීම පිළිබඳ සාකච්ඡා කළා. ඔබ දැනුම්වත් ද මේ ගැන?

හිටපු ජනපති:

ස්වාමීනි, මේ දූෂණ විරෝධී කාර්යාලය කාලය දීර්ඝ කරන්න කැබිනට් පත්‍රිකාවක් ආවා. එහිදී මා විරුද්ධ වුණා. මගේ කාර්ය මණ්ඩලය කවුරුවත් එහි සිටියේ නෑ. මා තදින් විරුද්ධ වෙලා ඒක නැවැත්තුවා.

(2016 ජනවාරි මස 03 වැනි දින හිටපු ජනපතිවරයා නිකුත් කළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේය.)

කොමිසම :

මේ පත්‍රිකාවේ තිබෙන්නේ ඔබේ අත්සන ද?

හිටපු ජනපති :

ඔව්. මගේ අත්සන.

නීතිඥවරයා:

ඇන්ටනෝව් 32 ගුවන් යානා තුනක් අලුත්වැඩියා කරන්න ඔබතුමා කැබිනට් අනුමැතියක් ගත්තා නේද?

හිටපු ජනපති :

මිග් යානා මිලදී ගැනීම හෝ අවලංගු කිරීමේ ටෙන්ඩර් ගැන මා දැනුම්වත් නෑ. මට මතක නෑ. මොකද මා අත්සන් කිරීමට පෙර නිලධාරීන් පහක් හයක් අත්සන් කරනවා. මෙය මගේ කැබිනට් සංදේශයක් බව පිළි ගන්නවා.

අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා:

දූෂණ විරෝධී කමිටුවට මූල්‍ය පහසුකම් ලබාදීම ගැන ඔබගෙන් විමසුවා. ජනාධිපති කාර්යාලයෙන් රුපියල් මිලියන 7.5ක් ඊට වෙන් කළ බව හිටපු අගමැතිවරයා කිව්වා.

හිටපු ජනපති :

මට ඒ ගැන මතකයක් නෑ.

රොහාන්ත අබේසූරිය මහතා :

ඔබගේ අනුමැතිය නැතුව එහෙම කළ හැකි ද?

හිටපු ජනපති:

අද කියන කොට තමයි දැන ගත්තේ. මා දැනුම්වත් නෑ.

කොමිසම:

උදයංග මහතාගේ තානාපතිකම 2015 පසුව අහෝසි වුණා නේද?

හිටපු ජනපති :

ඒ ගැන විදේශ අමාත්‍යාංශයෙන් ඇසිය යුතුයි. ඔහුට එරෙහිව අධිකරණයෙන් වරෙන්තු ලබාගැනීම පිළිබඳව මා දැනුම්වත් නෑ.

ඇත්ත වශයෙන්ම ඔය කටයුතු පිළිබඳව මගේ මතකයක් නෑ.

රෝෂන් තුෂාර

ඇන්ටනෝව් 32 ගුවන්යානා තුනක් අලුත්වැඩියාවට යුක්රේන් මාස් ආයතනයට භාර දුන්නේ මගේ අනුමැතිය ඇතිවයි

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}