යුද්දෙට ගියේ නැත්නම් මං දොස්තර කෙනෙක්

යුද්දෙට ගියේ නැත්නම් මං දොස්තර කෙනෙක්… කරුණා අම්මාන්

සිංහල දෙමළ කෝලාහලය එක්දහස් නවසිය අසූ තුන වසරේ පටන් ගන්නා විට අපි කුඩා දරුවෝය. එහෙත් මිනිසුන් විඳි පීඩා දැක තිබුණේ කොළඹ නගරයට ආසන්නව පදිංචිව සිටි බැවිනි. ඉන් පසුවද තැන තැන බෝම්බ පුපුරන විට උතුරේ දකුණේ මිනිසුන් ත්‍රස්ත ප්‍රහාරවලින් මිය යන විට, ඇයි මෙහෙම වෙන්නේ යන ප්‍රශ්නය හිතට නැඟිණි. මේවාට වගකිවයුතු යැයි සිතෙන චරිත අද බොහෝමයක් ජීවතුන් අතර නැත . ඒ චරිත හමු වන්නේ නම් අසන්නට ප්‍රශ්න ද ඇත.

කලක් LTTE සංවිධානයේ ප්‍රබලයකු වූ පසු කලෙක ක්‍රියාකාරි දේශපානයට ද පිවිසි විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් එවන් චරිතයකි. පසුගිය දිනෙක ඔහු හමු වූයේ මා මිත්‍රයකුගේ සහායෙනි. කලක් තිස්සේ සිතේ තිබු ප්‍රශ්න කිහිපයක්ම ඔහුගෙන් අසන්නට ලැබිණි. මේ ඔහු කියූ දෑය. ඔහු අපට හමු වූයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරියගේ නි‍ෙවසේදීය.

බැලූ බැල්මටම ඉතා සන්සුන් දිවියක් ගත කරන්නේ යැයි හැඟෙන සරල පෙනුමක් ඔහු වෙත ඇත.

ඔබ දකුණේ කෙනෙක් ද.

නැහැ මම නැඟෙනහිර කෙනෙක්. නමුත් මගෙ සීයා දකුණේ ධීවරයෙක්. මට ඔහුගේ නම මතක නැහැ. මගෙ තාත්තාගේ උපන් ගම මඩකලපුව කිරාන්. මම උපන්නෙත් ඒ ගමේමයි . මගේ තාත්තා විනයාගම්මූර්ති. ඔහු පෝඩියාර් කියලා තමයි කවුරුත් ඔහුට කිව්වේ. ඔහුට ඉඩකඩම් තිබුණා. මගේ පවුලේ සහෝදර සහෝදරියෝ හත් දෙනයි. මම තමයි බාලයා. අපේ පවුලේ පස් දෙනෙක්ම විදුහල්පතිවරු. මට ලස්සන ළමා කාලයක් තිබුණා. පාසලේ නිවාඩු දුන්නම හැම සති අන්තයකම මම ගෙදර ආවා. ඒ ආපුවාම මට තාත්තා පස්සෙන් කුඹුරුවල ඇවිදින්න කැලේ ඇවිදින්න යන්න අවස්ථාව ලැබුණා. ඒ ජීවිතය හරිම සුන්දරයි. මම මුලින්ම ඉගෙන ගත්තේ කිරාන් මහා විද්‍යාලයේ . ඉන් පසුව තමයි මඩකලපුව මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගත්තේ. මම පුංචි කාලේ ඉගෙන ගන්න හරි ආසයි. ඒ වගේ ම ඉගෙනීමට දක්ෂයි. මම උසස් පෙළට හැදෑරුවේ ජීව විද්‍යාව. මට ඕන වුණේ විශ්ව විද්‍යාලයට ගිහිල්ලා වෛද්‍යවරයෙක් වෙන්න.

වෛද්‍යවරයෙක් වෙන්න හිතාගෙන හිටපු ඔබේ ගමන වෙනස් වුණේ කොහොම ද?

1983 දෙමළ සිංහල කෝලාහලයත් සමඟ තමයි මගේ හැම හීනයක්ම බිදිලා ගියේ. දෙමළ සිංහල කෝලාහල දවස් වල අපේ ගෙදර ලොකු කල්දේරම් වල මිනිස්සු කෑම උයනවා. කොළඹ ඉන්න නෑයෝ ඇවිල්ලා .ඒ ගෝලෝ බොහෝම දුකෙන් කතා කරන්නේ. මම තාත්තාගෙන් ඇහුවා ඇයි මෙහෙම වෙන්නේ කියලා. එවිට තාත්තා මට කිව්වා කොළඹ කලබල. මේ ඇවිල්ලා ඉන්න අයගේ සමහර ඥාතීන් ඒ කලබලවලින් මැරිලා කිව්වා. ඇවිල්ලා හිටපු නෑයොත් ඒ අයට වෙච්ච කරදර කිව්වා. ඒ වෙනකොට මිනිස්සු අතර ජාතිවාදය ඇවිස්සිලා තිබුණේ. අත්පත්‍රිකා බෙදනවා. කොටි සංවිධානය කියලා එකක් තිබුණේ නැහැ.

කොහොම නමුත් සිංහල මිනිස්සු ගැන වැරදි අවබෝධයක් අපේ මිනිස්සු තුළ තිබුණා. හුඟක් උගත් තරුණයො සංවිධානයට බැඳුණා. මටත් හිතුණා පොත් පත් පැත්තකට විසි කරලා සංවිධානයට බැඳෙන්න. මම ගෙදරට හොරෙන් සංවිධානයට බැඳුණා. ඒ බැඳුණට පස්සේ එක්දහස් නවසිය අසූතුනේ නොවැම්බර් මාසයේ දිනෙක තුන්සිය දෙනෙක්ව ඉන්දියාවට යැව්වා පුහූණුව ලබන්න. මමත් ඒ තුන්සිය දෙනා අතරට අයිති වුණා. එහිදි අපිට මාස හයක පුහුණුවක් ලැබුණා. පුහුණුව අවසාන වුණාම ප්‍රභාකරන් ඉන්දියාවට ආවා. ඇවිල්ලා ඔහු අපිව හමු වුණා. ඔහු කමයි මාව ඔහුගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස තෝරා ගත්තේ. පසුව මට මඩකලපුව අම්පාර බාර දුන්නා.

ඔබ සටන් කළේ කුමක් සඳහා ද?

කොටි සංවිධානය සටන් කළේ වෙනම රාජ්‍යයක් සඳහා. ඒ වෙනම රාජ්‍ය ලබා ගැනීමේ සටනේ දි මට සටන තිබුණේ හමුදාව සමඟ විතරයි. මුල් කාලේ අපි ත්‍රස්තවාදින් නොවෙයි. හැම විටම අප සටන් කළේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා. ඉන්දියාව මේ කටයුත්තට මුල ඉඳලම උදව් කළ නිසා අපි හිතුවා අපිට මේ සටන ඉක්මනින් ජය ගන්න පුළුවන් කියලා. නමුත් පහුවෙන කොට ආණ්ඩුවයි කොටි සංවිධානයයි දෙකම සිවිල් යුද්ධයකට පැටලුණා.

අයිතිවාසිකම් දිනා ගන්න සටන් කළා නම් කොටි සංවිධානය සිවිල් ජනතාව මැරුවේ ඇයි.?

රට වටේ බෝම්බ පුපුරවන කොට සංවිධානය හිතුවා උතුරු නැඟෙන හිර ඉන්න හමුදාව ඒ ප්‍රදේශවලින් ඉවත් කරලා රටේ අනෙක් පැති වලට යවයි කියලා. නමුත් එහෙම දෙයක් සිදු වුණේ නැහැ. ඒ වෙන කොට ප්‍රභාකරන් මුහුදු කොටි, මරාගෙන මැරෙන ටීම්, බ්ලැක් ටයිගර් ටීම් හදලා තිබුණේ. මේවාට බැදුණ අය ඉදිරියට ආවේ තම ජාතිය වෙනුවෙන්. ඔවුන් වැටුප් ඉල්ලුවේ නැහැ. නමුත් සංවිධානයේ අය විවාහ වුණාම ඒ අයගේ පවුල් පිටින් නඩත්තු කළේ සංවිධානය. සංවිධානයේ සාමාජිකයන්ට කෑම බීම ඇඳුම් බෙහෙත් සියල්ල ලබා දුන්නා. දෙමළ ඩයස්පෝරාවෙන් සංවිධානයට සල්ලි ලැබුණා. පිට රට ඉන්න අය සල්ලි එව්වා. සංවිධානය ආයුධ ගත්තේ ඒ ලැබුණ සල්ලි වලින්.

අයිතීන් ඉල්ලන්න සටන් කළාට මිනිස්සු මරන කොට ඔබට මොකද හිතුණේ.

සංවිධානයේ හිටපු සමහර ලීඩර්ස්ලාට ප්‍රශ්නයක් තිබුණා. සිවිල් වැසියෝ ඝාතනය කරන එක ගැන. මේ සටනෙදි උතුරේ බොහෝ අය යුද්ධයට පිට රට සිට සල්ලි එව්වා. නමුත් නැඟෙනහිර අය තමයි මැරුණේ . පීඩාවට පත්වුණේ. දෙපැත්තෙම අය මැරෙන කොට කලකිරීමක් ඇති වුණා. වරින් වර සාම සාකච්ඡා තියන කොට මට හිතුණා ඒ ක්‍රමය හරි කියලා. නමුත් සාම සාකච්ඡා තියෙන කාලයට වූණේ කොටි ආයුධ වලින් සන්නද්ධ වෙන එක.

එක් වරක් අලිමංකඩ ප්‍රහාරයේදී ආණ්ඩුව පස්සට ගියා. විටින් විට හිටපු ජනාධිපතිවරුන් සමඟ මේ යුද්ධය නවත්වන්න සාකච්ඡා පැවැත් වුණා. නමුත් ඒවා සාර්ථක වුණේ නැහැ. මම ප්‍රභාකරන්ට කිව්වා අපි දේශපාලන විසඳුමකට යමු කියලා. ඒත් එයාට ඒක තෙරුම් ගන්න බැරි වුණා.

දෙපැත්තෙම මිනිස්සු මැරෙන කොට මට කලකිරුණා. මට හිතුණා අපි එක රටේ මිනිස්සු මේකට විසඳුමක් ඕන කියලා. ඒ වෙනකොට ඇන්ටන් බාලසිංහම්ටත් එහෙම හිතිලා තිබුණේ. මම අශෝක රජ්ජුරුවෝ ගැන පොත පතින් කියවලා තිබුණේ. යුද්ධ කළාට ඔහුට ලැබුණ දෙයක් නැහැ. මම ඇන්ටන් බාලසිංහම්ටත් කිව්වා අපි සාමයට කැමතියි කියලා අත්සන් කරමු කියලා. ප්‍රභාකරන්ට කිව්වට ඔහු තේරුම් ගත්තෙම නැහැ. සාම කතාවලට ප්‍රභාකරන් ආවේ නැහැ. ඔහුට අවශ්‍ය වුණේ බේරි බේරි කොහොම හරි යුද්ධ කරන්න. මෙතැනදි පොට්ටු අම්මාන් සහ ප්‍රභාකරන් තමයි ම්ලේච්ඡ වුණේ. සාමසාකච්ඡාවලට කැමතියි කියලා අත්සන් කරලා නොර්වේ වලින්ම ඇන්ටන් බාලසිංහම් රට ගියා. මම ලංකාවට ආවා. නමුත් මම එන විට රුද්‍රකුමාර් ප්‍රභාකරන්ට කියලා මම තමයි මේ දේට මුල් වුණේ කියලා. ඔහු මා සමඟ තරහා වුණේ එතැන් සටයි. ප්‍රභාකරන් මාව මරන්න සැලසුම් කළා. මම හිතුවා ඔහු මහත්තයාව මැරුවා වගේ මාවත් මරයි කියලා.

ඔබ සංවිධානයෙන් ඉවත් වුණා ද?

නැහැ මම මගේ කණ්ඩායමේ හයදාහක් සාමාජිකයෝ හිටියා. ඒ අයව මම නිදහස් කළා. මම ඔවුන්ට කිව්වා යන්න කියලා. ඒ ගොල්ලො කැමැත්තෙන් යන්න ගියා. මම තොප්පිගල කැලේ හැංගිලා ඉදලා පසුව පවුල සමඟ ඉන්දායාවට ගියා. ඒ වෙනකොට මම සංවිධානය අතහැරලා ආවේ. රජය මා සමඟ කතා කළා. මේ යුද්ධයට දේශපාලන විසඳුමක් ලබා දෙන්න සහාය වෙන්න හිතුවා. මගේ එකම ඉල්ලීම වුණේ මගේ දරුවන්ව ලන්ඩන්වලට යවන්න කියලා විතරයි.

කොටි සංවිධානය තුළ ආදරය කරන්න විවාහ වෙන්න පුළුවන්කමක් තිබුණ ද?

ඒක මෙහෙමයි. විවාහ වෙන්න පුළුවන් . නමුත් අනවශ්‍ය විදිහේ බැඳිම් තියා ගන්න බැහැ. දෙදෙනෙක් යාළු වුණොත් ඔවුන්ට ප්‍රභාකරන්ට දන්වලා විවාහ වෙන්න පුළුවන්කම තිබුණා. මම විද්‍යා එක්ක යාළු වුණා. ඇය දක්ෂ ක්‍රීඩිකාවක්. ඇයත් සංවිධානයේමයි හිටියේ. ඇයත් ක්‍රියාකාරී සාමාජිකාවක්. විද්‍යාට සංවිධානයෙන් දීලා තිබුණ නම තමයි නීරා. මම විවාහ වුණේ හරියටම හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතාගේ මරණය සිදුවුණ දවසේ. ඒ 1993 මැයි පළමු වෙනිදා. ප්‍රභාකරගේ ආශිර්වාද ඇතිව මම විවාහ වුණා.

නමුත් මට මගේ බිරිඳගෙන් දරුවන්ගෙන් ඈත් වෙලා ජීවත් වෙන්න වුණේ. ඒක මගෙ හිතට දුකක් වුණා.

ප්‍රභාකරන් මැරුණට පසු ඔහුගේ මළ සිරුර දුටුවම ඔබට මොකද හිතුණේ.

ඒ වෙන කොට මට ඔහු ගැන විශේෂයෙන් මුකුත් හිතුණේ නැහැ. අපි තරහා වෙන්න පෙර ඔහුට හිටිය විශ්වාස වන්තම කෙනා මම. මගේ අයියත් සංවිධානයේ හිටියේ. ප්‍රභාකරන් ඔහුවත් මරා දැම්මා. නමුත් මට හිතුණා මම කියපු දේ අහලා ඔහු මේ දේශපාලනික විසඳුමකට ආවා නම් අද මෙහෙම දෙයක් වෙන්නේ නැහැනේ කියලා.

ඔබ දේශපානයට ආවට පස්සේ ඔබේ ජීවිතය වෙනස් වුණා ද?

ඔව් පැහැලිවම වෙනස් වුණා. මට හිතෙනවා මම මේ රටට යම් මෙහෙයක් කළා කියලා. මම සිංහල මිනිස්සු කවුද කියලා තේරුම් ගත්තේ එහෙම ආවට පස්සේ. මට මේ කා සමඟවත් වෛරයක් නැහැ. මම මගේ අමාත්‍යාංශය හරහා බේදයක් නැතිව මිනිස්සුන්ට උදව් කළා. මම ශාන්තිට පෙරේරාට මගේ පුද්ගලික ලේකම්වරිය ලෙස එන්නැයි ආරාධනය කළා. ඇය ආවා. මං හිතනවා ඇය ඒ පැමිණි ගමන අභියෝගයක් කියලා.

ඔබ දේශපාලනයට එක් වුණේ හම්බ කරන්නද?

නැහැ මම දේශපානයෙන් හම්බකරපු දෙයක් නැහැ. මගේ තාත්තාගේ දේපළ ඉඩකඩම් වලින් තමයි මම ජීවත් වෙන්නේ. මම මිනිස්සු යොදවලා කුඹුරු කරනවා. ගොවිපළ කරනවා. මට මඩකලපුවේ හෝටල් බාර් කිසිම දෙයක් නැහැ. මම දේශපාලනයට සම්බන්ධ වුණේ හම්බ කරන්න නෙමෙයි.

ඔබ මොනවා කිව්වත් දකුණේ මිනිස්සු ඔබත් එක්ක තරහින් හිටියේ. නුවර දළදා මාලිගාවට කළ ප්‍රහාරය, ජයසිරි මහා බෝධි ප්‍රහාරය, මිනිසුන් කම්පාවට පත් කළා. මිනිස් ජීවිත සිය ගණනින් නැති වුණා. සුංගාවේලි වගේ ප්‍ර දේශවල අය කියන්නේ කරුණගේ අය ඇවිල්ලා ඔවුන්ගේ ඥාතින් මැරුවා කියලා. පුජනීය ස්ථාන වලට පහර දෙමින් මිනිසුන් මරමින් සොයපු රාජ්‍යය කුමක්ද?

මට බෞද්ධ සිද්ධස්ථානවලට පහර දෙන්න ඕන වුණේ නැහැ. සිවිල් ජනතාව මරන්න ඕන වුණේ නැහැ. නමුත් මේ හැම ම්ලේච්ඡ දෙයක්ම කෙරුවේ ප්‍රභාකරන් සහ ඔහුගේ පිරිස. නමුත් ඒ හැම එකක්ම ඔවුන් මා සහ මගේ පිරිස කරන බවයි පැතිරුවේ.

දැන් ඔබේ ජීවිතය ගෙවෙන්නේ කොහොම ද?

අවුරුදු දාහතකට පසුව මගේ බිරිඳ හා දරුවෝ ලංකාවට අවා. දියණියන් දෙදෙනාම වෛද්‍යවරියන් . බිරිඳ ඉංජිනේරුවරියක්. මම ගොවිපළ කරගෙන ඉන්නවා. මම කැමතියි සංගීතය රසවින්න. ගීත ගයන්න. මම කැමතිම ගීතය තමයි ‘මේ නගරය ඔබ මා‘ ගීතයට. මගේ තරුණ කාලේ සංවිධානයට හිරවෙලා තිබුණේ. ජීවිතය වින්දේ නැහැ. සංවිධානය ඇතුළේ දැඩි විනයක් තිබුණේ. අවුරුදු හතලිහ වන තුරුම මම මත්පැන් බීලා තිබුණේ නැහැ. නමුත් පාර්ලිමන්ට් අවාට පසුව තමයි එයට හුරු වුණේ. මං කැමතියි බොහෝම නිදහසේ ඉන්න. ගමේ විදිහට උයාගෙන කාලා පාඩුවේ ජීවත් වෙන්න. පාර්ලිමේන්තු ආවට පස්සේ මට හිතේ චකිතයක් තිබුණා.

සිංහල මිනිස්සු කොයි විදිහට මාව පිළිගනීද කියලා. නමුත් මගේ පුද්ගලික ලේකම්වරිය ශාන්ති හා ඇගේ පවුලේ අය මාව ඒ කොටු වෙලා සිරවෙලා හිටිය ජීවිතයෙන් මුදා ගන්න උදව් කළා. ඔවුන් මාව සංගීත ප්‍රසංග බලන්න එක්ක ගියා. කලාව රස විදින්න හුරු කළා. මට දැනෙනවා මම හුඟක් වෙනස් වුණා කියලා. දැන් මට පුංචි දරුවෝ එක්ක දවස ගත කිරීමත් සතුටක්. ගහකොළ පරිසරය සමඟ රැදෙන එක සතුටක්.

ඔබේ පවුලේ අය කොහොම ද?

යම් දිනෙක මගේ බිරිඳ දරුවෝ ලංකාවට පදිංචියට ඒවී. ඒ එනතුරු මම මේ විදිහට ඉන්නවා. මගේ සහෝදර සහෝදරියෝ හොඳින් ඉන්නවා. අම්මා තාත්තා නම් දැන් ජීවතුන් අතර නැහැ. මං හිතනවා මගෙ අම්මා හැමදාම මං ගැන දුක් විදින්න ඇති කියලා හිතෙන්. සංවිධානයට බැදනම ගෙදර යන්න ලැබුණේ නැහැ. මං තොප්පිගල ඉන්නකොට අම්මා හා පවුලේ අය ඇවිත් මාව බලලා යනවා.

යුද්ධය ගැන අද මොකද හිතෙන්නේ?

යුද්ධය කියන්නේ හරි අපරාධයක්. දැන් මේ රටේ මිනිස්සු සමඟියෙන් ජීවත් වෙනවා. මම විශ්වාස කරනවා දැන් කවුරු යුද්ධයක් පටන් ගත්තත් දෙමළ මිනිස්සු ඒකට කැමති වෙන්නේ නැහැ. ඔවුන්ගේ සහයෝගය ලබා දෙන්නෙත්. තවමත් යුද්ධය වෙනුවෙන් කෑ ගහන්නේ දෙමළ ඩයස්පොරාව පමණයි. ප්‍රභාකරන් යථාර්ථය තේරුම් ගත්තා නම් මේ රටේ යුද්ධය ඉවර වෙලා ගොඩක් කල්. කොහොම වුණත් මේ තියෙන සංහිඳයාව ගැන මම සතුටු වෙනවා.

ඉනෝකා සමරවික්‍රම
සිළුමිණ
දේශපාලනය

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}